කටට රසට - වස විස නැති දෙහි යුෂ මිශ්‍ර පොළොස් අච්චාරුව
වර්තමානයේ බොහෝ ආහාර නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර රස කාරක වර්ග යොදා ආහාර රස ගන්වයි. එවැනි ආහාර අනුභවයෙන් පසු ආසාත්මිකතාවන් සහ අධිආම්ලිකතාව වැනි තත්ත්වයන්ට ගොදුරු වීම සුලභව දැකිය හැකිය. එමෙන්ම ඒකාකාරිව සකසාගත් ආහාර වර්ග පමණක් අනුභවයෙන් ආහාර රුචිය ද නැතිවී යන බව අපේ අත්දැකීමයි. මේ නිසා ශරීරයට අත්‍යාවශ්‍ය සමහර පෝෂ්‍ය පදාර්ථ නොලැබී යයි. එය විවිධ පෝෂණ ඌනතා රෝග ඇති වීමට මූලික වේ.
කෘතිම රසකාරක නොමැති රසවත් ආහාර වර්ග පිළියෙළ කර අත්දැකීම් ලැබීමට හුරු වූ මා සකස් කළ පොළොස් අච්චාරුවක් සකසා ගන්නා ආකාරය පහත දැක්වේ.
අවශ්‍ය ද්‍රව්‍ය
අච්චාරුවට සුදුසු ප්‍රමාණයේ පොළොස් ගෙඩි 01
රතු ළූණූ ග්‍රෑම් 300
අමු මිරිස් ග්‍රෑම් 100
සුදු ළූණූ බික් 10 – 12
ඉඟුරු ස්වල්පයක්
අබ සහ ගම්මිරිස් කුඩු - ලුණු වතුරින් ගලෙහි අඹරා සකස් කර ගන්න
ලුණු අවශ්‍ය පමණ
එනසාල් කුඩු ස්වල්පයක්
කරාබුනැටි කුඩු ස්වල්පයක්
අඹරාගත් කුරුදු කුඩු ස්වල්පයක්
කහ කුඩු ස්වල්පයක්
පොළොස් ගෙඩිය ලුණු සහ කහ යොදා හොඳින් වතුරේ තම්බා ගන්න. කටු හා වහල්ල 1/4” පමණ ඉතුරු වනසේ කපා ඉවත් කරන්න. පොළොස් ගෙඩිය අඟල් 1/2 පමණ වනසේ කෑලි වලට කපා ගන්න. රතුළූණූ සුද්ධ කර සෝදා වතුර බේරෙන්න තබන්න. අඟල් 1/2 පමණ නැට්ට ඉතිරි වන සේ අමු මිරිස් කපා වතුර බේරා අඟල් එකක් පමණ වනසේ මැදින් පලා ගන්න.
දෙහි යුෂ මිරිකා පෙරා ගන්න. සුදු ළූණූ හා ඉඟුරු අඹරා ගන්න. දෙහි යුෂ මැටි බදුනකට දමා තලාගත් ඉඟුරු, සුදුළූණූ, ගම්මිරිස්, කහ, අබ, ලුනු කුඩු, කරාබු නැටි, එනසල් හා කුරුදු කුඩු හොඳින් එකිනෙක මිශ්‍ර කර, ලිප තබා කකාරා ගන්න. විනාඩියක් පමණ ලිප තබා එය උතුරන විට අමු මිරිස්, රතු ළූණූ හා පොළොස් කැබලි දමා ලිපෙන් බා ගන්න.
නිවුනු පසු පිරිසිදු කර ගත් වීදුරු බෝතල් වලට හෝ මැටි බඳුනකට දමා කඩ වැස්මක් බැද තබා කෑමට ගන්න. මෙය දින 5 -6 ක් වුවද තබා ගත හැක. එයට වැඩි කාලයක් තබා ගැනීමට අවශ්‍ය නම් ශීතකරණයේ තබා අවශ්‍ය විට ආහාරයට ගන්න.
ළඟ එන සිංහල අවුරුද්දට විනාකිරි නොමැති මෙම අච්චාරුව සකස් කර රස බලන්න.මාර/ අත්තුඩාව මහ විදුහලේ
ගෘහ විද්‍යා ආචාරිණී
සේපාලිකා හේවාමද්දුම
Subscribe to:
Post Comments (Atom)
Post a Comment