728x90 AdSpace

 


හිතාමතා මුහුණේ අලවපු හිනාවක් එක්ක දේශපාලකයෙක් තාප්පයක ඇලවිලා. මිනිසුන් ඇද ගන්න පුළුවන් බලයක් හිනාවෙ තියෙන බව දේශපාලකය දන්නව වුණාට ඡන්දදායකයා දන්නෙ නෑ දේශපාලකයා හිනා වෙන‍්නෙ තමන්ට රැවටෙන ඡන්දදායකයටමයි කියලා. මන්ත්‍රී උත්තමයෙක් පෑදු මඟක තමා ආව දුර... මහිලාට හිනාවක් ගියා. ජයන්ත මාර්ග සංඥා පද්ධතියකට හිරවෙලා චක් චුක් ගානව. තත්පර හැටක් ඉවසන්න බැරි මිනිහා. මේ මිනිහා එක්ක තමන් මනුස්ස ජීවිතේකින් තුනෙන් එකක් ඉවසුව බව මේ මනුස්සය දන්නව නම්! දැන ගත්තත් එකෙත් වරද තමන් පිට පටවයි. හැම දුර්වලකමකින් ම බේරෙන්න දඟලන මිනිහනේ.

“මොකද තනියම හිනා වෙන්නෙ”

හිනා වෙන්නත් අවසර ගන්න ඕනෙයැ. ජයන්ත තමන් දිහා බලන්නෙ වාහන තදබදය තමන් නිර්මාණය කළා වගේ.

“නෑ නිකම්”

“ඔයාට නිකම් හිනා යනවා. ඔයාගේ වැඩකට නැති ගමන් නිසා මට ඇ‍ඬෙනවා.”

“වැඩ කීයක් පාඩුද, ඔය ලේඛකයා එච්චර හිතවත් කෙනෙකුත් නෙවේනේ”

“මීට පස්සේ මේ වගේ ගමන් වලට ඩ්‍රයිවර් කෙනෙක් ‍හොයා ගන්න”

ජයන්ත තොරතෝංචියක් නැතිව කියවනවා.

“මොකටද පස්සෙන් එල්ලිලා එන්නේ මට අර මීනා එක්ක ට්‍රේන් එකේ යන්න තිබුණ.” (ට්‍රේන් එකේ යන එකත් ලේසි නෑ, ඒත් මේ කරච්චලේට වඩා ඒක හොඳයි.)

“ලේඛකයෙකුට ශක්තියක් වෙන්න පොතක් එළිදක්වන වෙලාවකට යන්න ඕනේ, ඒකට ලොකු හිතවත් කමක් තියෙන්න ම ඕනෑ නෑ.”

“යවයි යවයි ඩ්‍රයිවර්ලා එක්ක ම. රස්සාවටයි වැසිකිළියටයි විතරයි තනියම යන්න ලැබෙන්නේ. පුළුවනි නම් ඒකටත් පස්සෙන් එයි.”

මහිලා මේ සේරම කිව්වේ තමන්ගේ හිතටමයි. මොකටද නැති ප්‍රශ්න ඇති කරගන්නේ.

“සද්ද නැතිව හිටිය ම ඔක්කොම ප්‍රශ්න විස‍ඳෙනවනේ.”

ජයන්ත කට බෙරි කරනව. ජයන්තට තියෙන්නේ ඇද වෙච්ච කටක් “අනේ මම මේ මිනිහට කැමති වුණානේ” මහිලා තමන්ගේ හිතට කොඳුර ගත්තා. එක අතකට එහෙම නොවුණා නම් තමන් අද මහ පාරෙත් ඉන්න තිබුණා. මහිලා ජයන්තගේ හැම දුර්වල කමක්ම ඉවසන්නෙ ඒ කෘතගුණේ පිහිටලා.

“මේ වාහන කන්දරාවක් හැමදාම කොහේ දුවනවද මන්දා?” ජයන්ත කෑගහනවා.

“ඒක නම් ඇත්ත තමා. සීයයට හාරපන්සීය බදු ගහලත් වාහන නම් පිටරටවල වගේ බදු අඩු කළොත් මිනිසුන්ට පාරෙ බැහැල යන්න බැරිවෙයි.”

වුවමනාවකට නොවුණත් මහීලත් කියෙව්වෙ ජයන්තගේ තරහවට එකතු වෙන්න.

“එහෙම නම් ඉතින් අපිත් ඉන්නෙ වාහනේකනේ.”

මහිලා ඒ ටික කිව්වෙ තමන්ගේ හිතට. මහිලා පුතාටත් උගන්වන්නේ එහෙමයි. තාත්තාගේ නොරිස්සුම් වදන් නෑහුණා වගේ ඉන්න පුතත් පුරුදු වෙලා. ඉලන්දාරිකමට ළංවෙන පුතා මිතුරු කැලට එකතු වෙනවට ජයන්ත කැමති නෑ. නොමඟට යයි කියන බයට. ඒකෙ ඇත්තකුත් නැතිව නෙවේ. ඒත් ඉතින් රට දුවන තාලෙ අනිත් පැත්ත හරවන්න බැරි එකේ ළමයට හොඳ නරක තෝරා දෙන එකනේ හොඳ ම. ජයන්ත පණ්ඩිතය වුණාට ඒ ටික තේරෙන්නේ නෑ.

තමන්ගේ වාහනයට සමාන්තර ව යතුරු පැදියක් දුවනවා. බැලූ බැල්මට අවුරුදු විසි දෙකක් පහු නොකරපු ජෝඩුවක්. අලුත විවාහ වුණු දෙපළක් වෙන්නැති. නගරයේ ගිනියම නොතකා කෙල්ල කොල්ලව බදාගෙන තුරුලු වෙලා. ජීවිතේ බර අමතක කරල සතු‍ටින් ගතකරන කාලය. තමාට එහෙම කාලයක් තිබුණේ නෑ. ගමේ අවුරුදු කුමාරි වෙලා සිදුවූ දෙයක්. එදා සිහිනා තරගෙට ඉදිරිපත් වුණා නම් තමාට ඒ ජය නැහැ. එහෙම වුණා නම් සම්පත් එක්ක ගමට වෙලා සාර්ථක ජීවිතයක් ගෙවනවා. දැනටත් ඉතින් ජීවිතය අසාර්ථකයැ. ඒත් තමන්ගෙ ජීවිතේ හිස් තැනක් තියෙනවා කියලා දන්නෙ මහිලා විතරයි. ඒ හිස්කම ඉවසපු මහිලා තීරණයක් අරන් සිත කය ඉල්ලන සැප විඳින්න.

“මොකද බුම්මගෙන? බඩගිනිද?

ජයන්තගේ කරුණාව පහළ වෙලා. මේ මිනිහා එක්ක හිතන්නවත් නිදහසක් නෑ. ලේඛනයට කැමති තමන්ට පොතක් කියව ගන්න ලිපියක් ලියා ගන්න මිනිහ නැති වෙලාවක් ම බලා ඉන්න ඕනේ. මී මැස්සා වගේ රොන් ගන්න බැරි වුණාට කූඩැල්ල වගේ ඇඟේ එල්ලෙන්න නම් මිනිහ සූරයි.

“ඕනෙ නම් මොනව හරි බීල යමු.”

ජයන්ත තමන්ට ආදරෙයි, කරුණාවයි හැම අඩුපාඩුවක් ම හොයා බලනවා. ගැහැණියගේ ජීවිතයේ හොයා බලන්න ඕනෑ භෞතික සැප විතරද? ඒව නම් තමන්ටත් උපය ගන්න පුළුවනි. ඒත්.... සුසුමක් උගුර මුලට ආව මහිලාට තද අපහසුවක් දැනුණා.

අවුරුදු කුමාරි වුණ මහිලා දිහා තෑගි බෙදා දෙන්න ආව මන්ත්‍රීතුමා ආශ‍ාවෙන් බලනවා මහිලා දැක්කා. දිස්නේ ගහන ජාතික ඇඳුමට යටින් තඩි බඩගෙඩියක් තිබුණ වුණත් මුහුණේ තේජසක් ඇදිලා තිබුණා.

මේ ළමයට ඕනේ උදව්වක් කරන්නම්, එදා මන්ත්‍රීතුමා අත මිරිකලා කිව්ව එක හිතට අරන් මහිලා ඕනේ උදව්ව ගත්තා. ඒ උපකාරයට ප්‍රති උපකාරය බලාපොරොත්තු වුණාම තමයි මහිලාට දවල් තරු පෙනුණේ. එදා ජයන්ත ඉදිරිපත් නොවුණා නම් තඩි බඩගෙඩියක් තමන්ටත් ලැබෙනවා. මන්ත්‍රීතුමාගේ පෞද්ගලික ලිපි කටයුතු කළ ජයන්ත ළඟ උන්නැහේගේ රහස් ගොඩක් තිබුණා. විවාහය පමා වෙලා තිබුණා. ජයන්තට මහිලා ගැන ආදරයක් ඇති වෙලා තිබුණේ ඇය දුටුව මුල් දවස්වල ඉඳලාමයි. මන්ත්‍රීගෙන් බේරෙන්න බැරි ව අඬ අඬා හිටිය මහිලා ව විශේෂ අවසරයකින් ජයන්ත තමන්ගෙ කරගත්තා. මන්ත්‍රීතුමා කපන්න බැරි අත සිපගත්තෙ දෙන්නගේ විවාහයට තමන්ගෙ අස්සන තියලා. මහිලාට වඩා වසර දොළහකින් ජීවිතය ගෙවා තිබුණ ජයන්ත ගැන අම්මාගේ නම් ප්‍රසාදයක් තිබුණේ නෑ. ඒත් අම්මට දුවව බේරගන්න ශක්තියක් තිබුණෙත් නෑ.

තමන්ගෙ කන පිනවන ගී තනුව කාගේදෝ ඇමතුමක් මතක් කරනව. මහිලා ජංගමයා අත් බෑගයෙන් එළියට ගත්තා. මිනක්ෂිගේ අංකය අත්බණුවේ රඟදෙනවා.

“මොකාද?” ජයන්ත ඔරවනවා. මනුස්සයකුට කතා කරන්නවත් දන්නේ නැති මිනිහෙක්.

“හෙලෝ මීනා මම ළඟ එනවා. මේ ට්‍රැපික් එකට හිර වෙලා අනේ.”

“හරි හරි මම ඉක්මනට එන්නම්.”

“තනිය මොකක්ද... ඔය ඉන්න කෙනෙක් කතාවට අල්ල ගෙන ඉන්න.”

අනිත් පැත්තෙන් කිව් දේවලට උත්තර සැපයුව මහිලා ජංගමයා ව විසන්ධි කළා. මීනාටත් අත්වෙලා තියෙන්නෙත් තමන්ගේ ඉරණමට සමාන ඉරණමක්.

“සුන්දරම් මෙලෝ රහක් නෑ. ඒත් කරදරයක් නෑ.”

මීනා හිනාවෙවී කියනවා. හිත හොඳ මිනක්ෂි, මහිලා තරම් ස්වාමි පුරුෂයාගේ හොඳ හිත රැකගන්න කැපවෙන්නේ නෑ. සෑහෙන අතමිට සරු පවුලක එක ම කෙල්ල වෙච්චි මීනාට මවුපියන්ගේ ශක්තිය තියෙනවා. මීනාට වෙන රෝස මල් කතන්දරයක් තියෙනව වගේ මහිලාට දැනිල තියෙනවා. දමිල වුණත් ලස්සනට සිංහල කවි ලියන ඇය මහිලාට සමීපයි.

තවත් තරුණ ජෝඩුවක් අතිනතින් ගෙන පදික වේදිකාවේ ඇවිදිනවා. කඩිමුඩියක් නැති ගමන. දෙන්න ඇ‍ඟේ හැප්පි හැප්පි හිනා වෙවී යනවා. මහිලා හිතින් ඔවුන්ගේ ලෝකෙට ගියා.

තමන් ලබන්න පින් නොකළ සතුට ඔවුන් ලබනවා ඇති. අද මේ දේවල් ගැන වැඩිය හිතෙන්නේ ඇයි මහිලා හිතුවා. ටික දවසක ඉඳලා මහිලාගේ හිත ඇවිස්සිලා. අවුරුදු ගණනක් හිරවෙලා තිබුණ තරුණ සිතිවිලි දලුදාලා. සපුමල් තමයි මැරීගෙන යන සිතිවිලි ගහට වතුර දැම්මේ. තමන්ගේ දෙවෙනි නවකතාව එළිදක්වපු දවසේ හමුවුණ සපුමල් කවියෙක්. ලස්සන මූණක් තියෙන ඔයා කාගේද කියලා හමුවුණ මුල් දවසේ ම පුංචි කවියක් සපුමල්ගෙන් මහීලාගේ ජංගමයාට ආවා. මොහොතකින් කටපාඩම් කරගත්ත කවිය මහිලා ජංගමයාගෙන් මකලා දැම්මා.

“සඳට කීවොතින් උපමා
තරහා නෑ නේද උමා
තරු රැස් දිදුලන මූණේ
අයිතිය කාටදැයි ළමා”

කෙළින් ම අදහස් පළ නොකළත් සපුමල් ඉඳහිට කරන කතාවෙන් කෙටි පණිවිඩවලින් ආදර කතාවක් කියනව කියලමයි මහිලාට හිතෙන්නේ. අද සුගන්දගේ කවි පොත දොරට වැඩීමට යන්න උත්තේජනය සැපයූවෙත් සපුමල්. සුගන්දයි සපුමලුයි හොඳ යහළුවෝ. අද සපුමල් ව දැකගන්න පෙරුම් පුරාගෙන මහිලා මේ ගමන පිටත් වුණේ.

“ජයන්ත ඔයා කාර් එක දාලා එන්න. මීනා බලා ඉන්නව මං එනකල්.”

රථගාලට වාහනය හරවන සැමියා දිහා නොබලා ම මහිලා කතා කළා. මහිලාගේ හිතට හදිසියි. ඒ හදිසිය නොදන්නා ජයන්තට පාරෙදි තිබුණ හදිසිය නැතිව ගිහින්.

මහිලා ව දැක්ක මීනා ඉදිරියට ආවා. මීනාගේ නාසයේ රැඳුණ තෝඩුව දිස්නේ දෙනවා. මීනා අමුතු සතුටකින් නොඉවසිල්ලකින්.

“ඇයි අනේ පරක්කු. උත්සවය පටන් ගන්න හදන්නේ.”

“යමු ඇතුළට කෝ මිලින්දලා ඇවිත්ද?”

මහිලා මිලින්ද ගැන ඇහුවේ සපුමල් ගැන දැන ගන්න. මිලින්ද, සපුමල්, සුගන්ද එකට ඉන්න පිරිස.

“මිලින්ද නම් ඇවිත් සපුමල් තව ඇවිත් නෑ.”

මහිලාගේ හිත තිගැස්සුණා. මීනා තමන්ගේ හිත හැඳිනගෙනවත්ද? උත්සව ශාලාවේ අසුන්ගත් මහිලාගේ ඇස් සපුමල්ගේ රුව හෙව්වා. තමා ව සොයමින් එකල මෙකල වෙන ජයන්තට අත වැනුව මහිලා මීනක්ෂි දිහාට හැරුණා. ඇය දුර ඇමතුමකට උත්සහ කරනවා.

“ඉතින් මීනා කොහොමද මොනාද අලුතින් ලිව්වේ?”

“වරදක් නෑ මහී. මේ ටිකේ මොනාවත් ලියන්න බැරිවුණා. ඔෆිස් එකේ වැඩ වැඩියි අනේ.”

“මීනාගේ අත්බණුව නද දෙනවා “සපුමල්” මීනාගේ මුහුණට පහන් එළියක් වැටිලා. මහිලා වික්ෂිප්ත ව බලා හිටියා.

“අනේ ඇයි අනේ”

“මම නම් හිතුවේ ඔයා එයි ම කියලා.”

“ඉතින් අනේ සුගන්ද තරහා වෙයි නේ.”

“හා හා මම විස්තර කියන්නම්.”

මීනක්ෂිගේ අතින් ගිලිහුණ ජංගමයා උකුළ උඩට වැටුණා.

“සපුමල් එන් නෑලු.”

සංවාදය ඉවර කළ මීනාගේ මුහුණ මැලවෙලා. නාසයේ රැඳුණ තෝඩුවේ දිස්නේ අඩුවෙලා. මහිලාගේ පපුව ඩිග් ඩිග් ගෑවා.

බිඳුණු හඬක් එක්ක මීනාගේ අතැඟිලි මහිලාගේ ඇඟිලි අතර හිරවුණා. මහිලාගේ ඇඟිලි දැඩිවුණා. මීනාගේ දෑස් මහිලාගේ දෙනෙත්වලට එබුණා. සපුමල් මීනක්ෂිටත් බලාපොරොත්තු දීලා. මහිලාට තමන් ගැන විතරක් නෙවේ මීනා ගැනත් දුක හිතුණා.

“අනේ මීනා ඔයයි මායි දෙන්න ම මේ මිනිහට රැවටිලා. අපි දෙන්න විතරක් නෙවේ හැම ගැහැනියක් ම රැවටෙනවා.” කුවේණියගේ ඉඳල ම ගැහැනු අපි රැවටෙනවා.” මහිලගේ දෙනෙත් කියන කතාව ගැන මීනාට අවබෝධයක් නෑ. මහිලාගේ පපුව හිරකරනවා. උත්සවය පටන් අරන් වුණත් මහිලාට කිසිම දෙයක් ඇහැට කනට නොවැටෙන තරම්. පහුගිය කාලයේ වින්ද සතුට එකපාරට හොරු අරන්. ඇය හදිසි තීරණයක් ගත්තා.

“මට යන්න ඕනා මීනා.”

“ඇයි මේ හදිසියේ.”

“නෑ මගේ ඔළුව පුපුරන්න වගේ රිදෙනවා.”

“උදේ ඉඳන්ම ටික ටික රිදුණා. දැන් අමාරු වැඩියි වගේ.”

“අනේ සොරි මීනා, අපි ආයේ මීට් වෙමු - බායි.”

මීනාගේ අතැඟිලි බුරුල් වුණා. මහිලාගේ මුහුණ කියවන්න වගේ මීනා මහිලා දිහා බලනවා. නගරයේ බිත්තියක ඇලවුණ දේශපාලකයාගේ ව්‍යාජ හිනාව කොහේදෝ ඉඳලා මහිලාගේ මතකයට දුවගෙන ආවා. ඒ හිනාව අරන් මුහුණේ තවරගත්ත මහිලා මෙ‍තෙක් වෙලා බරදීලා සිටි අසුන සැහැල්ලු කළා.

ප්‍රභා මාධවී අභයගුණසේකර 

Post a Comment

 
Top