පීදුණු ගොයම කිරෙන් බර ව මිහිකත දෙස ම නෙත් හෙළාගෙන ලතාවකට පැද්දේ. මලින් මලට පියඹන මීමැස්සන්, මල් සදිසි මේ වීකරල් ද මඟහරින්නේ නැත. මීමැස්සාගේ බරට මිහිකත සිපගන්නට තරම් පාත් වන වීකරල මීමැස්සාගේ නික්ම යෑමෙන් නැවත හිමිහිමින් උස් වෙයි. කිරිවැදුණු ලක්ෂ සංඛ්‍යාත වීකරල් එක ම රිද්මයකට නැළවෙන්නේ මිහිකත හා සුහද සංවාදයේ යෙදෙමිනි. මීමැසසෝ මේ කිසිදු හෝ සංවාදයක් ගණන් නොගන්නාහු තමන්ගේ පාඩුවේ මල් සොයමින් පියඹා යන්නෝ ය.
ඉමක් කොනක් නොපෙනෙන රහස් රැසක් සඟවාගත් අද්භූත තැනක් සේ පෙනේ. එක එල්ලේ බලා සිටින විට අනුක්රමයෙන් කුඩා වෙමින් යන වීකරල් ම සිත විවිධාකාර පැන ගොඩනඟයි. වීකරල් බොඳ ව ගොස් ඉහළ අහසේ වලාකුළු අතර සිත සැරි සරන්නේ මා පෙර දුටු වීකරල් තව ටික දිනකින් කපා අස්වැන්න නෙළාගත් පසු මිය යන බව ම සිතට ඒත්තු ගන්වමිනි. අප සැමදා දකින, සවන් දෙන දේ අතර ජීවිතයට සුන්දරත්වයක්, සුගන්ධයක් හෝ පියකරුබවක් සදාතනික ව ලබා දෙන කුමන හෝ දෙයක් තිබේ ද? සැමදා ඒ ආකාරයෙන් ම පවතින කුමන හෝ දෙයක් මිනිස් සිතට එසේත් නැත් නම් ඔබට හමු විය හැකි ද?
ඔබ හොඳ නීරීක්ෂකයකු නම් මිනිසා ඉතිහාසය පුරා ම නොයෙක් ක්‍රමවලින් සමාන්‍ය ජීවිතය ඉක්මවා යන, මේ තත්ත්වාරෝපිතයෙන් එපිට තිබෙන දෙයක් සොයමින් සිටින බව ඔබට ඒත්තු ගැන්වෙනවා නො අනුමානයි. පෙනෙන දෙයින් ඔබ්බට ඇති යමක් සෙවීමට මිනිසා කළ හැකි සෑම දෙයක් ම කර තිබේ. ඔහු ඒ සඳහා ශරීරයට දුක් දුන්නේ ය; උපවාස කළේ ය; පුරාවෘත්ත හා ඒවායෙහි වීරයන් වන්දනා කළේ ය; "මම මාර්ගය දනිමි, මා අනුගමනය කරන්න" යැයි කියූවන්ගේ මාර්ගය අනුගමනය කළේ ය. නිදර්ශනයක් ලෙස ම සිතට නැඟෙන උදාහරණය ම ඔබේ සිතටත් මෙහිදී නැඟෙන බව මම දනිමි. සිදුහත් කුමරා! ඔහු මේ සියලු අත්හදා බැලීම් කළ බව ඔබේ මතකයට නැඟෙන්නට ඇති. පෙරදිග අපරදිග, ගැහැනු පිරිමි මේ ඈ ඕනෑ ම කෙනකු මෙවැනි ප්‍රශ්න ගැන සිතා ඇති බව නොරහසක් ය.
සොයා බැලීම්වලට බලපාන්නේ උගත්කම ද? උගත්කම යනු ජීවිතයේ එක් කොටසක් පමණී. පියඹා යෑමේ හැකියාව සම්බන්ධයෙන් උගතුන්ට විශේෂ වැදගත්කමක් ලැබේ. එහෙත් මිනිස්සු හුදෙක් උගත්කම පමණක් තිබෙන අය නො වෙති. ඔවුහු සංකීර්ණ පැවැත්මක් ඇත්තෝ වෙති; එනම්: හෘදයසංවේදී භාවය, කලබලකාරිබව, අහංකාර-නිරහංකාරකම්, ඊර්ෂ්‍යාව, මෛත්‍රිය මේ ඈ සැම දෙයක ම සංකලනයක් වෙති.
උගතුන්ට හසු නොවන, හසු වූවත් ඔවුන් එතරම් තැකීමක් නොකරන ඇතැම් දේ ගැන එතරම් උගත්කමක් නැති මිනිසුන් සොයා බලන බව ඔබට දැනී ඇතිවාට සැක නැති. එවන් නිරීක්ෂණයක් රහිත මිනිස්සු මෙලොව නො වෙති. මිනිසා සෑම විට ම තමන්ට පහසුවෙන් හසු නොවන දේ පුරාණ කාලයේ සිට ම සෙවීමේ යෙදී සිටී. සංවිධානය කරන ලද ආගම් යනු යම් යම් විශ්වාසවලට, දෘෂ්ටිවලට, පුදසිරිත්වලට හා මිථයා ඇදහිලිවලට මිනිස් සිත හැඩගස්වාගැනීමේ ව්‍යාපාරයක් බව එසේ නිරීක්ෂණය සහිත වූවන්ට හසුවීම පුදුමයක් නො වේ. ඒවා මිනිස් සිත හැඩගැස්වීම සඳහා යොදවා ඇති ව්‍යාපාර බැව් මිනිසා හඳුනාගනී. ඒවා ඉතා ලාබදායී ව්‍යාපාර වන අතර ම අපේ සිත් ද, අපේ ජීවිත ද ඒ තරමට ම හිස් නිසා ඒවාට ඉහළ පිළිගැනීමක්ද අප අතරින්ම ලැබී ඇත. සැබෑ ජීවිතය සුන්දරත්වයෙන් ආඪ්‍ය නොවන නිසා ම මිථ්‍යා විශ්වාසවලට, සුරංගනා ලොව අද්භූත ප්රබන්ධවලට අපි විසල් කැමත්තක් දක්වමු. ඒ නිසා ම යථාර්ථය පෙනිපෙනී අපි මායාවේ ජීවත් වන්නෙමු. පුරාවෘත්තවලට හා මිථ්‍යා විශ්වාසවලට අපි වන්දනාමාන කරන්නෙමු. ශාරීරික වශයෙන් හෝ මානසික වශයෙන් මිනිසා ගොඩනඟාගෙන ඇති සියලු මන්දිරවල සත්‍යයට අදාළ කිසිවක් නොමැත්තේ එබැවිනි.
මිනිසාගේ සියලු විකෘතිවලින් නිදහස් වූ සත්‍යය හෙවත් යථාව සොයන්නේ කෙසේ ද? එසේ නම් අප, අප ඇතුළත පවතින ව්‍යාකුලත්වය තේරුම් ගත යුතු නො වේ ද? නැත් නම් අප ජීවත් වන අපිළිවෙළ තේරුම් ගත යුතු ය. එවිට පිළිවෙළ ගැන අවබෝධයක් ඇති වේ. එමඟින් පැහැදිලි නිශ්චිත බවක් නිර්මාණය වේ. ඒ නිශ්චිත භාවය යනු බුද්ධිය යි. මේ සියල්ල ගැන අවබෝධ වන විට මනසේ දොර විවර වේ. මේ තත්ත්වය වචනයෙන් විස්තර කළ නොහැක්කේ වචනයෙන් ඇඟවෙන දේ සැබෑව නොවිය හැකි බැවිනි. මේ නිරීක්ෂණයේදී ඔබට ආස්වාදය ආදරය නොවන බවත්, ආශාව අන් අයකු සම්පාදනය කරන දෙයකින් හෝ, ගුරු කෙනකු, ආචාර්යවරයකු හෝ ගැලවුම්කාරයකු මාර්ගයෙන් නො ව, ඔබ ම ඔබේ චින්තනය මෙහෙයවීමෙන් සත්‍යය-අසත්‍යය හඳුනාගත යුතු ය.
ඔබ සොයා යා යුතු දේ ගැන ඛලීල් ජිබ්රාන් ගේ 'LA VOIX DE L'ETERNELLE SAGESSE' නම් කෘතියේ මණ්ඩාවල පඤ්ඤාවංස හිමි කළ 'මුනිවර දේශනා හෙවත් සෞන්දර්යයේ ගීතය' නම් සිංහල අනුවාදයේ මෙලෙස සටහන් ව තිබූ බව මගේ මතකයට නැඟිණි.
"අප ආදරය කරන කල්හි ඒ ආදරය අප වෙතින් එන්නක් වත්, අප සඳහා වන්නක් වත් නො වන්නේ ය. අප ආනන්දය තුළ ගිලෙන කල්හි, ඒ ආනන්දය රැඳී ඇත්තේ අප තුළ නොවන්නේ ය. එය මහා ජීවිතයේ ම අවයවයක් වන්නේ ය. අප දුකින් පීඩිත ව සිටින කල, අප දුක රැඳී ඇත්තේ අපගේ තුවාල තුළ නො වන්නේ ය. එය ස්වභාවධර්මයාගේ හදවත තුළ ම පවතින්නකි."
සුමුදු චතුරාණී
Post a Comment