මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කරමු
ක්‍රිකට් ක්‍රීඩාව ජනහද ගැහෙන අපේ ජන සංස්කෘතියට එකතු වුණ සුදු කළු භේදයෙන් තොරව අපව වෙළාගත් එකම ක්‍රීඩාව යැයි කිව්වොත් එය නිවැරැදිය.
1996 ලෝක කුසලානය දිනාගෙන ඕස්ට්‍රේලියාව වැනි අනභිභවනිය රටක් පරාජය කොට ජයග්‍රහණය ලැබීමෙන් පසු අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා හොඳ කලක් උදා විය. ඒ අතර ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා හොඳ කලක් ක්‍රිකට් පාලකයන්ට ලැබිණි.
ඊට පෙර ක්‍රිකට් පාලක මණ්ඩලය හෙබවූයේ ඉතා නිහතමානී අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ සහෝදරයකු වූ රොබට් සේනානායක, හිටපු මුදල් ඇමැතිවරයකු වන එස්. එම්. පෙරේරා වැනි අයයි. මේ පාලකයන් මේ ක්‍රිකට් මණ්ඩලයේ තනතුරු ඉසිලුවේ කිසි කලක ලාභ අපේක්ෂාවෙන් නොවේ.
එකල මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වූ හොඳම කඩුලු රකින්නා ලෙස මා තෝරා ගන්නා බෙන් නවරත්න ක්‍රීඩා පිටියට පිවිසියේ බයිසිකලයෙනුයි. ඔහු ක්‍රීඩාවෙන් සමුගෙන ගෙදර ගියේ ද බයිසිකලයෙනුයි.
ඒ දිනවල සියලු දෙනාම ක්‍රීඩා කළේ මුදලට නොව, ක්‍රීඩාවට ඇති බලවත් කැමැත්ත නිසාය. සියලු ක්‍රීඩකයෝ එකල නොයෙකුත් රැකියාවල නිරත වන අය වූහ.
සී. අයි. ගුණසේකර නමැති අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා වොකර්ස් සමාගමේ වෙළෙඳ කළමනාකරු ලෙස රැකියාව කළේය. මේ සියලු දෙනා එකල කුඩා දරුවන් වූ අපගේ වීරයෝ වූහ. මෙසේ පැවැතගෙන ආ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය 1995 කොකාකෝලා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි ආනා පුංචිහේවා මහතාට හිමි විය. ඒ මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමටනම් පිටරට පුහුණුකරුවකු සොයා ගත යුතු යැයි තීරණය කළේය.
ඩේව් වට්මෝර් නමැති ශ්‍රී ලාංකිකයා 56 කලබැගෑනිය නිසා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ බර්ගර් ජාතිකයෙකි. ඔහු ඕස්ට්‍රේලියාවේදී සීමිත ක්‍රිකට් තරග කීපයකට මුහුණ දුන් ක්‍රීඩකයෙකි. ඉන් පසු ක්‍රීඩා පුහුණු ඇකඩමියකට ගොස් උපාධි ලබා ඔහු ක්‍රිකට් පුහුණුකරුවකු විය.
ඒ යුගයේ ඔහුට කළ යුතු වූ ගෙවීම සුළු මුදලක් වුවත් ඒ මුදල ගෙවීමට අප සතු නොවීය. පසුව ඕස්ට්‍රේලියාවේ වෙනත් ශ්‍රී ලාංකික දොස්තරවරයකු මොහුගේ වාර්ෂික පඩිපත ගෙවීමට ඉදිරිපත් විය. ඩේව් වට්මෝර් ශ්‍රී ලංකාවට ආ වහාම ඔහුට පෙනී ගියේ අපේ ක්‍රිකට් කණ්ඩායම තාක්ෂණ අංශයෙන් කොතරම් දුර්වල ස්ථානයක සිටිනවා ද යන්නයි.
අපි වෙඩික්කාරයන් මෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ කණා සොට් ගහන පිතිකරුවන් වූ අතර කණ්ඩායමේ සියලු දෙනාම හොඳට බත් කා දවල්ට නිදා ගන්නා බඩ මහත ශාරීරික සුවතාව නොසලකන අය බව හෙතෙම තේරුම් ගත්තේය. ඔහු ප්‍රථමයෙන් කළේ ක්‍රීඩකයන්ගේ කෑම වේල වෙනස් කිරීමයි: ඔවුන්ට බත් කෑම තහනම් කිරීමයි. ඊට පසු කළේ මොවුන් සමඟ ව්‍යායාමයේ යෙදීමයි. එකල ක්‍රිකට් ක්‍රීඩකයන්ට නිසි ලෙස ව්‍යායාමයේ යෙදීමට ජිම් එකක්වත් නොවීය.
මොහු ක්‍රිකට් කණ්ඩායම ගල්කිස්ස වැල්ලේ සිට කොල්ලුපිටිය දක්වා මුහුදු මාර්ගයේ දිවෙව්වේය. බොහෝ අය හැතැප්මක්වත් දිව ගියේ නැත. ඊට පසු අපේ ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාව දුර්වල තත්ත්වයක පැවැතීම නිසා භෞත චිකිත්සකවරයකු ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගැනීමට ඔහු නිර්දේශ කර තිබිණි. ඔහුට ගෙවිය යුතු ගාස්තුව ද ආනා පුංචිහේවා මහතාට හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයට දැරිය නොහැකි විය.
කෙසේ හෝ ඒ මුදල ද ඔහු සොයා ගත්තේය. ඊට පසු ඔහුගේ මිතුරකු වූ ඇලැක්ස් කොන්ටෝරිව ඕස්ට්‍රේලියාවේ සිට ගෙන්වා ගෙන අපට සිටි හොඳම පුහුණුකරු හා භෞත චිකිත්සකවරයා ලබාගැනීමට ආනා පුංචිහේවා මහතාට හැකි විය. අද ඔහු ගැන දන්නා කෙනෙක්වත් ඔහු ගැන කතා කරන කෙනෙක්වත් නැත.
ඔහු එතෙක් මෙතෙක් බිහි වූ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරුන් අතර විශිෂ්ටයා වන්නේය. මේ වෙනස කර ඉතා සුළු කලකින් අපේ ක්‍රිකට් කණ්ඩායමේ විශාල වෙනසක් විය.
බටහිර කොදෙව් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම එක්දින තරගවලදී පරාජය කිරීමට අපේ කණ්ඩායමට හැකි විය. අපේ ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය සමබරතාව ඉතා ඉහළ තත්ත්වයකට පත් කරගැනිණි.
අපේ පන්දු රැකීම ලෝකයේ ආසියාවේ සියලු කණ්ඩායම් පරදවා ලෝකයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පමණක් දෙවැනි පන්දු රකින්නෝ බවට අපේ ක්‍රීඩකයෝ පත් වූහ. ඉතා ඉහළින් ඇදී යන පන්දුවක් පවා උඩට පැන රැකගැනීමට අපේ පන්දු රකින්නන්ට හැකි විය.
මෙසේ අපි ලෝක කුසලාන දිනාගත් වහාම සියලු දෙනාම විශේෂයෙන්ම රූපවාහිනී ප්‍රචාරකයන් අපේ කණ්ඩායම දෙස බලන්නට වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රත්තරන් ආකරයක් ලෙසය. කිසි දවසක අපේ ක්‍රීඩකයන්ට නොගෙවූ මුදල් ගෙවීමටත් අපේ රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමටත් ඔවුහු පොර කෑහ.
ඒ පොරකෑම සමඟම මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරුවලට ද පොරකන විශාල සංඛ්‍යාවක් ඇති වූහ. අද මේ පොරකෑම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධනවත් පවුල් දෙකකට පමණක් සීමා වීම කවුරුත් දන්නා කරුණකි.
තිලංග සුමතිපාල මහතා එක පවුලක ප්‍රධානියා ලෙසත් ධර්මදාස පවුල අනික් පැත්තෙන් ද වූහ. මොවුන් තමන් දන්නා සෑම උප්පරවැට්ටියක්ම මුදල් ද වියදම් කර ක්‍රිකට් මහ පුටුවට තරග වැදිණි.
තිලංග සුමතිපාල මහතා ලංකාවේ සියලු ප්‍රාදේශීය ක්‍රිකට් සමාජවල ප්‍රධානීන්ගේ ඡන්දය දිනාගන්නා හිතවතා විය. මොහු මොනතරම් ක්‍රිකට් සමාජවල තම බලය ස්ථාපිත කරගෙන තිබුණේ ද යත් ඔහුව කිසිවකුට ඡන්දයෙන් පැරදවිය නොහැකි විය. ඔහුගේ පාලන සමයේ විපක්ෂ අක්‍රමිකතා වී යැයි චෝදනා කොට ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රීඩා පනතේ බලය පාවිච්චි කරමින් තිලංග සුමතිපාල මහතා සමඟ ඡන්දයෙන් පත්වූ කමිටුව විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රියා කළේය.
ඒ අතර තිලංග සුමතිපාල මහතා හා ඡන්දයෙන් පත් වූ කමිටුව තමන්ගේ බලය තහවුරු කිරීමට තමන් රිසි ලෙස ක්‍රිකට් සමාජ ආරම්භ කිරීමටත් ඔවුන්ට අවශ්‍ය ඡන්ද බලය ලබා දීමටත් කටයුතු කළේය. ශ්‍රී ලංකාව වැනි පොඩි රටක දැනටමත් ක්‍රීඩා සමාජ එකසිය හතළිස් ගණනක් ඇතැයි මට දැනගන්නට ලැබිණි.
ඉන්දියාව වැනි බිලියනයක ජනගහනයක් ඇති රටකත් ක්‍රීඩා සමාජ ඇත්තේ මීට වඩා සුළු ප්‍රමාණයක් බව කියැවේ.
මේ ඇතැම් ක්‍රීඩා සමාජවලට අයත් ක්‍රීඩාංගණයක් හෝ වෙනත් කිසිම දෙයක් නැතිව ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට එම ආයතන ලියාපදිංචි කර ඇතැයි කියති. තිලංග සුමතිපාල මහතා තම ජයග්‍රහණයට පදනම දමා ඇත්තේ අනාගතයේවත් වෙන කෙනෙකුට දිනිය නොහැකි ලෙසය. එලෙසම ඡන්ද බලයෙන් පත්වූ ක්‍රිකට් මණ්ඩලවල සාමාජිකයන්ට වගේ අතුරු කමිටු සාමාජිකයන්ටත් එරෙහිව විශාල දූෂණ චෝදනා එල්ල විය.
මේ චෝදනා ගැන කිසිම වග විභාගයක් නිසි පරීක්ෂණ නොපැවැත්විණි.
අප ලෝක කුසලානය දිනාගත්තට පසු ක්‍රිකට් ක්‍රීඩාවේ මුදල් ඇත්තේ රූපවාහිනී අයිතිය විකිණීමෙනි. 1996න් පසුව මේ රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් කාරණයක් තිබිණි. එවකට මේ ටෙලිවිෂන් අයිතිවාසිකම්වලට ඉල්ලුම් කළේ විදේශීය ආයතන මඟිනි. ඉල්ලුම් කළ එක් ආයතනයකින් අයිතිය ලබාදීමට ඩොලර් 50,000ක් ඇමැතිවරයකු ඉල්ලු බව ප්‍රචාරය විය.
මේ ඇමැතිවරයා හා රූපවාහිනී විකාශකයා අතර දුරකථන සංවාදය පටිගත කොට එය මෙරට ප්‍රසිද්ධ ඉරිදා පුවත්පතක පළ කළේය. එතැන් සිට අද දක්වා මේ රූපවාහිනී විකාශනවලින් එම ගනුදෙනුව අස්සන් කළ විට කප්පන් ගැනීම කවුරුත් දන්නා රහසකි.
අප බොහෝ විට අපේ ක්‍රිකට් මණ්ඩලයට මුදල් නැතිවූ විට අප හිඟමනේ යන්නේ ඉන්දියාවටය. ඉන්දියාව සමඟ අප තරග මාලාවක් පැවැත්වූ විට අපිට ඩොලර් මිලියන ගණනක් ලබාගත හැකිය. ඒ අනුව අපට ළඟදී ටෙස්ට් තරග තුනක් පැවැත්වීමේදී ඩොලර් මිලියන 14ක් හෝ 15ක්ව ලන්සු තැබිය හැකි වුවද අපට ලැබුණේ ඩොලර් මිලියන 1.4 කි. හේතුව පැහැදිලිය.
ඉන්දියා හා බංග්ලිදේශය පැවැත්වූ එක තරගයක් සඳහා ඩොලර් මිලියන 1.5ක මුදලක් බංගලිදේශයට ගෙවීමම පුදුම සහගතය. මේ ගෙවීම සමඟ ඉන්දියාව සමඟ තරග වාරයේදී අපට අඩු මුදලක් ලැබුණේ අත යට ඉතිරි මුදලින් කොටසක් මේ පාලකයන්ට ගෙවූ නිසා යැයි උපකල්පනය කළ හැකිය.
සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන මෙන්ම කුමාර් සංගක්කාර ද වයස සම්පූර්ණ වීමට කලින්ම විශ්‍රාම යෑමට මේ තත්ත්වය නිසා ඇතිවූ කලකිරීම හේතු වී යැයි කතාවක් පවතී.
කුමාර් සංගක්කාර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන් අතිශය දූෂිත බව කියා සිටියේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ක්‍රීඩා ඇමැති අවදියේ ඡන්දයෙන් පත්වූ ක්‍රිකට් නිලධාරීන්ගේ හොර මැරකම් සෙවීමට කමිටු පත් කළේ මගේ ප්‍රධානත්වයෙනි.
අන්ත දූෂිත දූෂණ චෝදනා රැසක් හෙළි කළත් ගත් පියවරක් නැත.
සිදු වූයේ වාර්තාව දී මාස කීපයකට පසු ඇමැති ධුරය අහිමි වීමය.
ක්‍රිකට් දූෂණ ගැන තව හුඟක් දේ කිව හැකිය. ඒ ලැයිස්තුව බෙහෙවින් දිගුය. ඒ නිසා මෙවර ක්‍රිකට් නිලවරණයෙන්වත් දූෂණයට බර අය පිටුදැක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය පමණක් අපේක්ෂා කරන පිරිසක් පත් කරගත හොත් යෙහෙකැයි සිතමි. ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් මහත්හොරුන්ගේ ක්‍රීඩාවක් නොව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බවට පත්වන්නේ එසේ කළොත් පමණි.
සංවාදය - සරත් පෙරේරා
ගත්තේ මෙතැනින්
Post a Comment