728x90 AdSpace

 


බොහෝ වේලා රැඳී සිටින්නට සිදුවිය. ප්‍රධාන මාර්ග‍යෙහි කිහිප වාරයක් එහා මෙහා ගියද ඔත්තුවට සාක්ෂි සපයා ගැනීමට කිසිදු සලකුණක් වූයේ නැත. වරින් වර අප සිටි තැන පසු කර ගිය බයිසිකල්කරුවෝ කුමක් හෝ ඉවක් ඔස්සේ ඇදී යන බව දැනුණි.

“මහත්තයො...... උන්ට ඔත්තුවක් ගිහිං වගේ.”

බැරියර් හන්දියේ සිට පැමිණි මඟ පෙන්වන්නා කී වචනය අප ක්‍රියාන්විතය ලත් තැනම ලොප් කර දැමුවේය. නමුත් තවත් වේලාවක් නිසොල්මනේ හිඳින්නට අපි තීරණය කළෙමු. කෙසේ හෝ ආ කාරණය ඉටුකරගත යුතුය.

අප රැඳී සිටින්නේ උඩවලව ජාතික වනෝද්‍යානයට යාබද වැවේයාය ගම්මානයේය. උඩවලව ජාතික වනෝද්‍යානයට වැඩිපුරම ගවයන් ඇතුළු කරන්නේ මේ ප්‍රදේශයෙනි.

“අද ටිකක් පරක්කුයි. ‍වෙනද මේ වෙලාවට හරක් දාස් ගණනක් ‍කැලේට පන්නනවා.”

මඟ පෙන්වන්නාගේ නිහඬ බව බිඳීමෙන් අපේ අරමුණද බිඳ වැටෙන්නා සේය. උදෑසන ගෙවී යාමට ආසන්න වුවද තවමත් හරක් පට්ටිය උද්‍යානයට දැමීමට කිසිවකුත් නොපැමිණීම අප ලද ඔත්තුව වැරැදි සහගත එකක් යැයි ඒත්තු ගැන්වීමට සමත්ය.

ගත වූයේ මොහොතකි. මහමඟට පැමිණ පුද්ගලයා වටපිට බලමින් තවත් අයකුට සන් කළේය. ඒ ඇසිල්ලෙන් පාරට දක්කාගෙන ආ හරක් පට්ටිය වාහන ගමනා ගමනයට ද බාධා කරමින් වැවේයාය දෙසට ඇදුණේය.

අන්න... දානවා..
මඟ පෙන්වන්නා අපට පැවසූයේ උද්දාමයෙනි.

ඔහු මෙම හරක් පට්ටි රැගෙන යන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේ විදුලි වැට අද්දරිනි. තව සුළු මොහොතකින් මෙම ගවයන් ඇතුළුවන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයටය.

දිනකට හරකුන් දහස් ගණනක් උඩවලව ජාතික වනෝද්‍යානයට විවිධ තැන්වලින් ඇතුළු කරනු ලබන්නේ අනවසරයෙනි. ජාතික වනෝද්‍යානයකට සතුන් ඇතුළු කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් වුවද අදාළ තැනැත්තන්ට දඬුවමක් නොලැබීම පුදුම සහගතය. උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පවත්වාගෙන යනු ලබන හරක් පට්ටි සියල්ලම උදෑසන වන උයනට ඇතුළු කරන්නේ රහසින් නම් නොවේ. මහ පාරේ ගමනාගමනයට‍ද බාධා කරමින් දක්කාගෙන යනු ලබන මේ හරක් පට්ටි උද්‍යානයට ඇතුළු කිරීමට ඔවුහු විවිධ උපක්‍රම භාවිත කරති. ඇතැම් තැන්වලට අලිවැට කඩා හරකුන් ඇතුළු කිරීමට දොරටු සාදා ඇත. තවත් තැනක අලි වැට එසවෙන පරිදි දිග ඉන්නක් සිටුවා එතැනින් හරකුන් උදෑසනම ඇතුළු කරනු ලබේ.

කෙසේ හෝ මේ අයුරින් දිනකට උඩවලව ජාතික උද්‍යානයට හරකුන් දහස් ගණනක් ඇතුළු කරනු ලැබුවද කිසිදු බලධාරියෙක් මේ වනතුරු ඊට පිළියම් යොදා නැත. ලක්ෂ ගණනක් වැයකොට තනන ලද විදුලි අලි වැට සිඳිමින් ‘හරක් කාරයෝ’ රිසි සේ තමන්ගේ අරමුණ ඉටුකර ගනිති. මහ දවාලේ ලොවටම පෙනෙන ලෙස උද්‍යානයට හරකුන් ඇතුළු කළද ඊට විරුද්ධව හඬක් නැඟීමට බලධාරීන් කිසිවකු ඉදිරිපත් නොවන්නේ දේශපාලන බලපෑම් නිසාවෙන් බව ගම්මුන්ගේ මතයයි.

මෙය ජාතික ප්‍රශ්නයකි. එක් අතකින් වනෝද්‍යානයට හරක් නිදහස් කිරීම සඳහා මෙම පිරිස විදුලි වැට බිඳ දමති. අනෙක් පසෙන් මෙම පිරිස හරකුන් සමඟ වන උයනට වැදී අනවසර ක්‍රියාකාරකම්වල නියැළෙති.

වන උද්‍යානයට පිවිසෙන හරකුන් රිසිලෙස තණ උලා කති. මේ හේතුව නිසා අලින්ට මෙන්ම වන උයනේ ජීවත්වන අනෙකුත් සතුන්ට ආහාර හිඟ වේ. ඒ නිසා උන් හරකුන් දැක්කීමට වැට බිදුණු තැනින් ගම්වලට වදිති.

‘උදේට හරක් දාස් ගාණක් පාර්ක් එකට දානවා‍. උන් උදේ ඉඳන් හවස වෙනකල් තියෙන තණකොළ ඔක්කොම කනවා. හරක් කාපු තණකොළ කන්න තියා හරක් ලැගපු තැනකවත් ඉන්න අලියා කැමති නැහැ. මේ නිසා තමයි අලි කෑම හොයාගෙන ගමට එන්නෙ.

අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන් කිසිවකුත් නම, ගම හෙළිකිරීමට මැළිය. ඊට හේතුව හරක්කාරයන් යයි ඔවුන් හඳුන්වන ගාල් හිමියන්ගේ මැර ක්‍රියාවලියට ඔවුන් දක්වන බියයි. හැම ගමකම හරක්කාරයා චණ්ඩියෙක්. මැරයෙකි. දේශපාලන හිතවතෙකි.



“මේ හරක් සෙල්ලම අද ඊයේ ඉඳන් වෙන එකක් නෙවෙයි. පිට ගංවලිනුත් ලොරිවල පටවං ඇවිත් හරක් දානවා. ප්‍රධාන ප‍ාරෙ කම්බි තුනට අමතරව තවත් කම්බියක් ගහල තිබුණ හරක් දානවට. පහුගිය රජයෙ වනජීවී ඇමැතිගෙ අනුදැනුමෙන් ඒ කම්බිය ගලවල දැම්ම. මේ ගම්වල දේශපාලනේ කරන්නෙ හරක්කාරයෝ. පොලිසියේ මහත්තරුන්ගෙ යාළුවොත් හරක්කාරයෝ. ඉතිං මේකට විරුද්ධව කවුරුත් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. අප කතා කළොත් ඊට පස්සෙන්දට හොඳටම ගුටි කන්න තමයි වෙන්නෙ. මේ හරක්කාරයෝ ඉන්නෙ මැර බලෙන් උදේට කම්බිය උස්සල හරක්ටික දානවා. හවසට ආයෙමත් කම්බිය උස්සලා හරක්ටික ගන්නවා. ගම්මුන් පවසන්නේ ඔවුන් අත්විඳිනදේය.

උඩවලව වනෝද්‍යානයට ආශ්‍රිත ස්පීල් මංකඩ, 10 කණුව, හබරළුආර සහ හම්බෙගමුව ආශ්‍රිතව විශාල වශයෙන් මෙම ජාවාරම සිදුවේ. වනජීවී නිලධාරින් බලා සිටියදී හරක්කාරයෝ වන උයනට හරක් නිදහස් කරති.

“වනජීවී එකේ මහත්තුරු මේක දන්නව. ඒත් කිසිම දවසක ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ. හරක් දාන්නෙ එළිපිටනෙ‍ ඉතිං ඇවිත් එපා කියන්න හරි පුළුවන්නෙ. කවුරුත් ඒකට එපා කියන්නේ නැහැ‍ මුන් නීතියෙන් අවසර අරන් වගේ තමයි හරක් දාන්නෙ.”

එය සැබෑවකි. උදෑසන 08.00 සිට 11.00 ක්වා වන උයනට හරකුන් නිදහස් කළද ඒ පිළිබඳ සොයා බලන්නට කිසිදු බලධාරියකු ඉදිරිපත් නොවීම ඛේදවාචකයකි. මේ පිළිබඳ තොරතුරු විමසීමට වනජීවී දෙපාර්තමේන්තුවේ උඩවලව ජාතික වනෝද්‍යානයේ බලධාරියකු හමුවූ මොහොතේ ඔහු පැවසූයේ මේ ක්‍රියාවලියට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවකි.

“මේක කාලෙක ඉඳන්ම කරගෙන එන වැඩක්. අපි හැම වෙලාවේම හරක් හිමියන්ව දැනුම්වත් කරනවා. ඇත්තටම උඩවලව ජාතික වනෝද්‍යානයට දවසකට දහස් ගණනක් හරක් දානවා. ඒ තැන් හඳුනාගෙනත් තියෙනවා. අපි කරන්නෙ හරක් අල්ලගෙන පශු සම්පත් අමාත්‍යාංශය මාර්ගයෙන් වෙන්දේසි කරන එක. මුලින්ම ගව හිමියන්ට සහන කාලයක් දෙනවා. හරක් ටික අල්ලගන්න. එහෙම අල්ල නොගන්නා හරක් වෙන්දේසි කරනවා. ඒත් හරක් දැමීමට දෙන්න යන දඬුවම මොකක්ද කියල තීරණයක් නැහැ.

මේක සංකීර්ණ ප්‍රශ්නයක්. අලි ගම් වදින්නත් මේක හේතුවක් වෙලා තියෙනවා. දේශපාලන බල පුළුවන්කාරකම් මත තමයි මේක වෙන්නෙ. අපි අල්ලන්නෙ නැත්තෙ නෑ‍‍‍. ඇල්ලුවට වැඩක් නෑ.

වනජීවී බලධාරියා පවසන්නේ එවැනි කතාවකි. සල්ලිකාර හරක් හිමියන් නිතර ගැවසෙන්නේ දේශපාලන බලඅධිකාරිය සමඟය. ඒ නිසාම හරකුන් ඇල්ලූ සැණින් උන් මුදා හැරීමට ඉදිරිපත් වන්නේද දේශපාලන බලාධිකාරිය ය. තමන්ගේ ගෝලබාලයන් සතුටින් තැබීමට නිතර ඉදිරිපත් වන දේශපාලනඥයන් ප්‍රදේශයේ මෙම ගැටලුව විස‍ඳන බවට ප්‍රතිඥා ලබා දුන්නද ඡන්දයෙන් ජයගත් පසුව එක්වන්නේ වැරදිකාර හරක් කාරයන් සමඟය. ඔවුන්ගේ පැවැත්ම යන සුඛවිහරණය ඇත්තේ සල්ලිකාර හරක්කාරයන් ළඟය‍.

මහ පාර ඇහිරෙන ලෙස දක්කාගෙන යනු ලබන හරක් නිසා මාර්ගයේ සිදුවූ අනතුරු ද බොහෝය. අනතුරක් වූ සැණෙන් හරක්කාරයෝ ගුටි බැට දෙන්නේ ද නිවැරැදිකරුටය.

“පසුගිය දවස්වල මේ පාරෙ හරක් නිසා ගොඩක් බරපතළ අනතුරු වුණා. බයිසිකලයක් හැපිල දරුවෙක්ගෙ දත් දෙකකුත් ගැලවුණා. මේ හැම වෙලාවෙම හරක්කාරයො එකතුවෙලා මිනිස්සුන්ට ගැහුවා. ‍ගොඩක් වෙලාවට මේ පාරෙ යන්නෙ එන්නෙ පිටගංකාරයො. ඉතිං වාහනේ හරකෙක් හැපුණොත් හරකටත් අලාබෙ ගෙවල ගුටිත් කාල තමයි යන්න වෙන්නෙ.

ගමේ වගාවක් තියාගන්න බෑ. මුන් මැර බලෙන් වගාවලටත් හරක් දානවා. මේක තමයි තත්ත්වෙ.

කඩ මණ්ඩියකදී හමුවූ තලත්තෑනි පුද්ගලයා පවසන්නේ දැඩි සංවේගයකිනි. ජීවිත කාලය පුරාවටම මෙම කරදරයට මුහුණ ‍දුන් පුද්ගලයන් අත්දැකීමෙන් පවසන්නෙ මෙය කිසිදා නිමා නොවන ප්‍රශ්නයක් බවය. වනජීවී නිලධාරීන් දේශපාලනඥයන් හා හරක්කාරයන් එකතුව උඩවලව වන උයන හරකුන්ගේ පාරාදීසයක් කළ බවට ඔවුන් නඟන චෝදනාව සාධාරණය. ඊට සාක්ෂිද ඕනෑ තරම්ය. මහ දවාලේ වන උයනට හරකුන් ඇතුළු කරද්දී වනජීවී නිලධාරීන් මර නින්දේය.

“අපේ බීට්ටු ඔෆිස් තියෙන්නෙ කිලෝමීටර් දහයෙන් දහයට විතර. ඉතිං හරක් දාන අය ඒ අස්සෙන් රිංගනවා. වැට උස්සලා හරක් දාන්න යන්නෙ විනාඩි පහයි‍‍.

වනජීවී නිලධාරියා පවසන කතාවට අනුව ඔවුන් සියලු ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනයකින් යුතුය. හරක් දාන තැන් ද හඳුනාගෙන සිටින ඔවුන් හරකුන් උද්‍යානයට ඇතුළු කරන වේලාව පිළිබඳව ද දැනුම්වත්ය. නමුත් මේ අපරාධයට එරෙහිව ඔවුන් නැඟී සිටින්නේ නැත

“ඔය හැමෝම හරක්කාරයන්ගෙ කප්පම් ගන්නව මහත්තයෝ .පොලිසිය , වනජීවී එක . හැමෝටම කුට්ටිය හම්බවෙනවා. රටට හෙණ ගැහිල ගියත් මොකද බඩ පිරෙනවනං........?

කඩ මණ්ඩියේ දී හමුවූ ගැමියකු පවසන කතාන්දරය සත්‍යයක් බව අපට ද හැ‍ඟේ. එ අසත්‍යයක් නම් අපරාධයට එරෙහිව බලධාරීන් නැඟී සිටිය යුතුය. නීතිය ක්‍රියාවට නැංවිය යුතුය. නැත.එය වන්නේම නැත.කෝටි ගණනක් වැයකොට තැනූ අලි වැට කපා හරකුන් ජාතික වනෝද්‍යානයකට ඇතුළු කරන තෙක් බලධාරීන් මර නින්දේය. වනසත්ව වෘක්ෂලතා ආරක්ෂක පනතට අනුව උද්‍යානවල කිසිදු සතෙකු ගෙන ඒම, අත්හැර දැමීම, නිදහස් කිරීම,බැඳතැබීම, හෝ අයාලේ යාමට ඉඩහැරීම බරපතළ වරදකි. එමෙන්ම වනෝද්‍යානය තුළට බලපත්‍රයක්, අවසරයකින් තොරව ඇතුළු වීම ද තහනම්ය. එහෙත් කෙරුම්කාර හරක්කාරයෝ මේ සියලුම නීති කඩකරමින් වන උයන තමන්ගේ බූදලයක් බවට පත්කොට ගෙන තිබේ. පසුගිය රජයේ හිටපු වනජීවි ඇමැතිවරයකු මෙම හරක්කාරයන් සඳහා නිල නොලත් බලපත්‍රයක් ලබා දී තිබේ.

උඩවලවට පමණක් සීමා නොවූ මෙම ක්‍රියාවලිය ලුණුගම්වෙහෙර, යාල, වස්ගමුව ඇතුළුව ලංකාවේ සියලුම උද්‍යානවල දක්නට ලැබේ. නමුත් එළිපිට කෙරෙන මේ පරිසර විනාශයට සෘජුව විරුද්ධ වීමට කිසිවකු ඉදිරිපත් නොවන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි.

 ගත්තේ මෙතැනින්
 

Post a Comment

 
Top