728x90 AdSpace

 

සියල්ල සූදානම්ය. එකිනෙකට ඇහිරූ ගමන් මළුත් පිළිවෙළට අඩුක්කු කළ වතුර බූලිත් උයන පිහන බඩුබාහිරාදියත් ජීප් රථයේ අඩක් තම අණසකට ගෙන තිබුණි. පෙර දා රාත්‍රියේ කතා කරගත් පරිදි උදෑසනට ගමන ඇරඹිය යුතුය. අපේ ගමන් මඟ වැටී ඇත්තේ දුෂ්කර සුන්දර වන වඳුළු අතරින් බව චමින්ද කීවා මතකය. මේ ගමන සඳහා අප උනන්දු කළේත් දැනුම්වත් කළේත් චමින්දය. හොඳ පරිසර සංචාරකයකු මෙන්ම මඟ‍ෙතාට ගැන සුපරික්ෂාකාරී හෙතෙම ගමන සඳහා සිතියම නිමැවූයේ පෙරදා මැදියම් රැයේය.





















මොනරාගල කොතරම් නම් සුන්දර දැයි අප දුටුවේද ගීත් මල්ලිගේ ජංගම දුරකතනයේ සටහන් කරගත් සුන්දර රූපාවලියෙන්මය.
“ඇග්‍රො ටුවරිසම්වලට මාර ප්ලේස් තියෙනවා මෙහේ”
පින්තූර අපට පෙන්වන අතරේ ගීත් මල්ලි ගමනට අප තව තවත් උනන්දු කළේය. ගෙවී ගිය රාත්‍රියේ අප කතිකාකොට ගත්තේ සියඹලාකරමැටියට යාමටය. මොනරාගල සිට කිලෝමීටර් 20ක් පමණ දුරකින් මහ වන මැද වැජඹෙන සියඹලාකරමැටිය කෘෂි ගම්මානයේ ලොකු අයියා සම්බන්ධ කොට ගත්තේ ඊට අනතුරුවය. අනිවාර්යයෙන්ම ෆෝවීල් ජීප් රථයක මේ ගමන යා යුතුය. දිය අගල් ආරවල්, කෝසු මෙන්ම තනාගෙන යායුතු මං සහිත මේ ගමන ඔක්කම්පිටිය තෙක් පහසු බව චමින්දගේ අදහසයි. ඉන් අනතුරුව මෙම මඟ අබලන් යැයි ලොකු අයියා අපට කීවේ පෙරදා රාත්‍රියේය.
මේ සියලු අත්දැකීම් හිත තුළ රඳවා ගනිමින් අප ගමන අරඹන්නේ සුබදායක සිතිවිලි සමුදායක් හිත තුළ පුරවා ගනිමින්ය. බඩුවලින් පිරුණු ජීප් රථයේ පිරිස වරින්වර විවිධ කතාවලය. මීට පෙර සියඹලාකරමැටියට ගිය ගමන ගැන ඔවුන් කතා කරන්නේ සතුටිනි. චමින්දගේ අදහස නිවැරැදිය. ඔක්කම්පිටියේ සිට මාර්ගය ඉතාමත් දුෂ්කරය. නමුදු අතිසුන්දරය. ලඳු කැලෑවලින් වටවී තිබූ මාර්ගය ඉදිරියට යද්දී වැසී ඇත්තේ ඝන වන වඳුළුවලින්ය. විශාල මඩවලවල් තරණය කරමින් අප වැටුණේ රතු ගුරු පාරටය. බඩඉරිඟු යායවල් මැදින් වැටී තිබූ ඒ මාවත අතිසුන්දරය. පේනතෙක් මානයේ පෙනෙන බඩඉරිඟු යායවල් මැදින් චමින්දගේ කොළ පැහැ දැවැන්තයා ඇදෙන්නේ සතුටිනි. මඟ දෙපස සිරි විසිතුරු නරඹමින් අප පැමිණියේ සියඹලාකරමැටිය වැව් ඉහත්තාවටය. ජීප් රථවල ගමන් කරන සියලුදෙනාම ගමනේ ජවය වැඩිකර ගත්තේ මෙවැනි වැව්පිටිවලදීය. නැතහොත් අබලන් මාර්ගවල හෝ වගුරු ආශ්‍රිත පරිසරවලදීය. ජීප් රථවල සංචාරකයන්ට ඒ දුර්ග තරණය ආශ්වාදජනක වික්‍රමාන්විතයකි.
අපිද වැව් ඉහත්තාවේ සිට අනෙක් කෙළවර තෙක් වැව් දියවර මතින් ජීප් රථය පැදවීමට තීරණය කළෙමු. එම කටයුත්තට පරිනතයකු වූ චමින්ද මඩින් පිරුණු වැව දිගේ ජීප් රථය පදවන්නේ තම පළපුරුදු බව ප්‍රකට කරමින්ය. එක් වරකදී මඩේ ගිලුණු ජීප් රථය කේබලය ආධාරයෙන් ගොඩට ගත්තේ ඒ පළපුරුදු බව තව තවත් ඔප්පු කරමිනි.
දුෂ්කර මඟ ගෙවා අප සියඹලාකරමැටියට ළඟාවනවිට සියඹලාකරමැටියට මද්දහන පැමිණ තිබුණි. ලොකු අයියාගේ ඉරිඟුයාය මැද තැනූ වාඩියේ දිවා ආහාරය සකසා ගත් අපි උඩ පැලට වී බොහෝ වෙලා ගත කරමින් පරිසර සිරි වින්දෙමු. විඳ නිම කළ නොහැකි ඒ ඉරිඟුයාය මැද සුන්දර නිස්කලංක ජිවිතය තවදුරටත් දිගු කරගැනීමට අපි සිතුවෙමු.
ඉරිඟු පාත්ති මැද්දෙන් ඇදෙන මද නල අතර හුඟ වෙලාවක් දැහැන්ගත වු‍ෙනමු. සැබෑවටම මෙය වෙනස්ම සංචාරයකි. සෑම මොහොතකම එකම මඟක සංචාරයේ යෙදෙන අපට අමිල අත්දැකීමකි. ලංකාවේ ජීවත්වන අප මේ මිහිරියාව නොවිඳින්නේනම් ඵලක් නැතැයි සිතෙන තරමට මේ සංචාරය වටිනා එකකි.
ඉරිඟු යායවල් අතර නිර්ව්‍යාජ ගැමියන් සමඟ අපි සුන්දර දිනක් වාඩිලා ගතිමු. සැබෑවටම මේ දැනෙන සුවදායක බව වචනයට පෙරළීම නිශ්ඵල කටයුත්තකි. ඔබටත් මේ කෘෂි ගම්මානවල සැරිසරමින් වාඩිවල දිනක් දෙකක් ගෙවා දැමීමට දැන් සිතෙනවා ඇත. චමින්ද ඒ වෙනුවෙන් සියල්ල සූදානම් කරන්නට මඟ බලා සිටිනා බව අවසානයේ ලියා තැබිය යුතුය. ජීප් රථය, කූඩාරම්, උයන පිහන උපකරණ මෙන්ම සියල්ල චමින්ද සතුය. ඔබ කොහේ හෝ සිට බස් රියකින් හෝ පෞද්ගලික වාහනයකින් මොනරාගලට පැමිණියහොත් එතැන් පටන් ගමනේ වගකීම චමින්ද දරනු ඇත. 0773453485 හෝ 0552276111 අංකවලින් මොනරාගල සෆාරි හි හිමිකරු චමින්ද ඔබට සම්බන්ධකර ගත හැකිය.
සංචාරය 
චතුර ගීතනාත් බණ්ඩාර
නිරෝෂ් බටේපොල


මැලේ මැද පිළිස්සෙන කිරි ඉරිඟු රස පහස
 


බඩඉරිඟු යායවල රාත්‍රියේ සැකසෙන ආහාර අතර පුළුස්සන ලද බඩඉරිඟුවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වාඩිය වටා එළිකිරීමටත්, ආරක්ෂාව මෙන්ම තනිකමටත් දල්වන ලද ගිනිමැලයේ මැද පිළිස්සෙන බඩඉරිඟු ඉතාමත් රසවත් වගේම ගුණවත් ආහාරයකි. මේ සුන්දර සංචාරයේදී ඉරිඟු යායකින් නෙලාගත් නැවුම් බඩඉරිඟු කරලක රස පහස ඔබ කුල්මත් කරනු නියතයි.

Post a Comment

 
Top