ශ්‍රී ලංකාවේ බොහෝ පෙදෙස්වල මේ දිනවල දක්නට ලැබෙන්නේ වියළි කාලගුණයකි. මාස ගණනාවක් තිස්සේ වට මහ වැස්සෙන් ඉස්පාසුවක් නො ලද, වැස්සට ම හුරුවුණු තෙත් කලාපීය ප්‍රදේශවලට වියළි කාලගුණයේ අපහසුව වඩාත් තදින් දැනේ. වැස්සට ම හුරු වී සිටින විට එළඹෙන වියළි සමය පරිසරයේ සුන්දරත්වය හොඳින් විඳින්නට ලැබෙන කාලයකි. හිරු බැස යන සන්ධ්‍යා යාමයේ සුන්දරත්වය වඩා හොඳින් දක්නට ලැබෙයි. සරත් කාලයේ සඳ පවා සුන්දරයයි කවීහු ද කියත්. එහෙත් අද ඒ සකල සුන්දරත්වය විඳින්නට ලැබෙන්නේ වැසි නැවතී දින කීපයක් පමණි. වියළි සැඬ හිරු සමඟ පරිසරය ගිනියම් වී දවස ගෙවීම අතිශයින් කටුක කාර්යයක් බවට පත් වෙයි. රාත්‍රියේ නිදා ගැනීම අතිශයින් අසීරු කටයුත්තක් බවට පත්වෙයි. බොහෝ දෙන වියළි කාන්තාරයක රැය ගෙවන්නවුන් සේ සකල සිරුර දහදියෙන් තෙමෙන විට විදුලි පංකාවේ සරණ පතමින් සිරුර තවත් වියළා ගනිත්. නාගරික පරිසරයක නම් මේ තත්ත්වය වඩාත් කටුක වනු ඇත.
තුරුලතාදියෙන් හෙබි පරිසරයක ජීවත් වූ ප්‍රජාවක් නාගරිකරණය හා තවත් විවිධ හේතු කාරක වෙනුවෙන් ඒ වන වියන වැනසීමේ කටුක ප්‍රතිඵලය සේ මේ තත්ත්වය හැඳින්වීම නිවැරදි නො වන්නේ ද? නාගරික මතු නො ව ගම්බද පෙදෙස්වල පවා සාධාරණ හේතුවකින් තොරව තුරුලතා වැනසීම හේතුවෙන් නගරයට මතු නො ව ගම්බඳට ද නියං සමයට ඔරොත්තු දීම ගැටලුවක් බවට පත්ව ඇත.
වියළි කලාපීය ප්‍රදේශයක පිහිටි එක්තරා පාසලක් ගැන කාලයක සිට මම දනිමි. එම පාසල ඉදිරිපස තුඟු නුග රුකක් තිබිණි. මේ මහ නුගය කරු මුල් විහිදුවමින් පොළොවේ විසල් පෙදෙසක් වසා ගෙන සිටියේ ය. ගුරුවර ගුරුවරියෝ ග්‍රීෂ්ම කාලයට නුග සෙවණේ පන්ති පැවැත්වූහ. කලකට පසු මෑත දවසක මට ඒ අසලින් යන්නට ලැබිණි. නුග රුක තිබූ තැන නැත. මම අසලින් ගමන් කළ මිනිසකුගෙන් ඒ ගැන විමසීමි.
“මෙතන ඉන්න ප්‍රින්සිපල් මහත්තයට ගහකොළ පෙන්නන්න බැරි ලෙඩක් තියනව. නුගේ විතරක් නෙවෙයි. මෙතන තිබුණු කොහොඹ, කරඳ වගේ මහ ගස් ඔක්කොම කැප්පෙව්ව. දැන් ඉතිං කාන්තාරෙ වගේ.”
මා දන්නා නගරාසන්න පාසලකට කලකට පසු මෑත දවසක ගියෙමි. කුඩා ඉඩකඩක පිහිටි එම පාසලේ දරු දැරියන්ට සෙවණ සලසන විසල් ගස් කීපයක් තිබිණි. ඇතැම් වනස්පතී රුක් නව ගොඩනැගිලි වෙනුවෙන් දිවි දී තිබිණි. නව ඉදිකිරීම් හමුවේ පවත්වා ගෙන යන්නට හැකි ගහකොළ ද අහේතුකව කපා දමා තිබිණි. නව ගොඩනැගිලි හමුවේ පාසල සාටෝපවත් ය. මල් පෝච්චි අලංකාරයට තබා තිබෙයි. එහෙත් ගිනියම් හිරුරැස් පාසල් බිම දවයි. නව ගොඩනැගිලි අවශ්‍ය ය. ඒ ගැන තර්කයක් නැත. එහෙත් ක්‍රමානුකූල සැලැස්මක් මත පරිසරය රැකෙන සේ සංවර්ධන කටයුතු කෙරෙන්නේ නම් කෙතරම් අපූරු ද?
විවෘත ආර්ථිකය නගරයේ රැකීරක්ෂා කරන අයට නාගරික පෙදෙස්වල පදිංචි වීමේ අවශ්‍යතාවය තව තවත් තීව්‍ර කළේ ය. ජනප්‍රිය පාසල් සඳහා තරගකාරිත්වය ඇතිවන විට පාසල් සීමාවේ පදිංචිව සිටීම ළමයා ඇතුළු කර ගැනීමේ එක් මාර්ගයක් බවට පත්විය. කඳු ආශ්‍රිත ගමනාගමන පහසුකම් අඩු ගම්වල පදිංචිකාරයෝ ගමනාගමන පහසුකම් සහිත මහපාර අසලට සංක්‍රමණය වන්නට වූහ. නගරාසන්නයේ ඉඩම්කඩම් සොයන ජනතාවට සරිලන සේ පර්චස් දහයට දොළහට කැබලි වූ ඉඩම් විශාල මිල ගණන්වලට අලෙවි වන්නට වූයේ ඉන්පසුව ය. ඉඩම් මිලට ගෙන ඒවා කැබලිවලට කඩා අලෙවි කරන දේපල වෙළඳාම් සමාගම් යහමින් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්විය. මේ සමාගම් මගින් විකිණෙන්නේ සංවර්ධනය කරන ලද ඉඩම් කැබලි බව ප්‍රචාරක දැන්වීම්වල දැක්වෙයි. තරමක් විශාල ඉඩමක් මිලට ගෙන එහි වැවී හෝ වවා තිබූ ගහකොළ කපා දමා, පොළව ඩෝසර් කොට, කාණු හා පාරවල් සකසා, ඉඩම් කැබලි වෙන් කොට දැන්වීම් දමා සැකසීම සංවර්ධනයයි. කපා දැමෙන දැව අලෙවිය ද අවසානයේ දේපළ වෙළෙඳාම්කරුවාට ආදායම් ගෙනෙන්නකි. කොටින් ම මෙකියන සංවර්ධනය යනු හරිත පැහැය පවා ඉවත් කරන ලද නිරුවත් බිම් යායක් සකස් කිරීම ය. ඒ බිම් යාය නිරුදක කතරක් හා සමාන ය. අසලින් දිය කඩිත්තක්, දියහෙබක් ඇත්නම් වෙන්දේසි ඉඩමේ නම නිල් දිය පොකුණ වෙයි. නැත්නම් ලේක් වීව් ගාර්ඩන් වෙයි. නැත්නම් රන්දිය පොකුණ වෙයි. මේ කිසිවක් නැත ද සංවර්ධිත ඉඩමට නමක් දැමීම අපහසු නො වේ. කුසුම් උයන, තුරුලිය අරණ, රෝස උයන වැනි නම් වැටෙන්නේ මෙසේ ගහකොළ ඉවත් කොට මහ පොළව ගහටන ලද සංවර්ධිත යයි කියන ඉඩම්වලට ය. කාලාන්තරයක් තිස්සේ මෙකියන ක්‍රියාදාමය සිදුවන විට නිවාස ඉදිකිරීමේ ක්‍රියාවලියට දැව සපයන්නට දැව ව්‍යාපාරිකයන් ගම්බදින් ගහකොළ කපන විට කෙසේ නම් තුරුලතා රැකේ ද?
ජනතාව දියුණුපවුණු වන විට නගරයට සංක්‍රමණය වීමේ වරදක් නැත. සිය දරුවන් නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළු කිරීමේ මවුපිය සිහිනයේ ද කිසිදු දොසක් දැකිය නො හැක. (රටේ පාසල් අධ්‍යාපනය සම මට්ටමකට ගෙනෙන බවට කවරාකාරයේ තර්ක විතර්ක ඉදිරිපත් වුව ද ඒ කිසිදු වැඩපිළිවෙළක් ඵලදායී නො වී පාසල් අතර පරතරය දිනෙන් දින වැඩිවනු අප අත්දැක ඇති බැවිනි.) මේ සියල්ලට ම මූලික හේතුව අපේ රට නිසි සැලසුම් සහගත ගමන් මඟක ගමන් නො කිරීමයි. මේ අපරිණත ක්‍රියාවලිය දිගින් දිගට ම සිදු වීමේ අනිටු ඵල විඳින්නට සිදුවන්නේ අපේ දරු පරපුරට බව වගකිව යුත්තන් සිහි තබා ගැනීම මැනවි.
මහානාම දුනුමාල
mahanamadunumala@gmail.com
Subscribe to:
Post Comments (Atom)
Post a Comment