728x90 AdSpace

 

යොවුන් පුර භුමියේ ඉදිවන ලේක් හවුස් මන්දිර කුටිය
'අනාගතය ඇරඹුණා' යන තේමාව පෙරදැරි කර ගනිමින් මෙවර යොවුන් පුරය තරුණ නායකත්ව කඳවුර වසර 27කට පසු අද දින සීගිරිය ගුවන් හමුදා කඳවුරු පරීශ්‍රයේ දී ආරම්භ කරන්නට මේ වන විට සියලු කටයුතු සුදානම් කෙරෙමින් පවතී.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධාන කරන මේ වැඩසටහනේ මෙවර තේමාව 'අනාගතය ඇරඹුණා' යන්නයි.

තරුණ තරුණියන් පන්දහසක් පමණ අද දින මෙයට සහභාගි වීමට නියමිතය. ඔවුන් පිළිගන්නට ගුවන් හමුදා කඳවුරු භූමියේ යොවුන් පුර කඳවුර මේ වන විට සූදානමින් පවතී.

යොවුන් පුරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකි. වික්‍රමසිංහ මහතා 1984 වසරේදී යෞවන කටයුතු ඇමැති වරයා ලෙස කටයුතු කරන සමයේ මේ යොවුන් පුර සංකල්පය බිහිවිය.

නවීන තාක්ෂණය තරුණ තරුණියන්ට සමීප කරවීම, තරුණ තරුණියන්ගේ පෞරුෂය, නායකත්ව ගුණාංග, අධ්‍යාපනික ගුණාංග වර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් දී ක්‍රියාත්මක කෙරේ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් එරන්දික වැලිඅංගේ මහතා ද ඊයේ රාත්‍රිය පුරා කඳවුරු භූමියේ සැරිසරමින් සියලු සංවිධාන කටයුතු නිසි ලෙස කෙරෙන බව නිරික්ෂණයේ යෙදුණි.

මේ වන විටසීගිරියට පැමිණ සිටින ඒ ඒ දිස්ත්‍රික් පෙර ගමන් කණ්ඩායම් තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයේ අනන්‍යතාව විදහා දැක්වෙන පරිදි කුඩාරම් හා ඉදිකිරීම් මේ වනවිට නිම කරමින් සිටිනු අපි ඊයේ රාත්‍රියේ දුටුවෙමු.

යොවුන් පුරය සදහා විදේශීය තරුණ තරුණියන් 120 දෙනෙකු ට ඇරියුම් කොට ඇත. එමගින් මෙරට තරුණ තරුණියන්ට ජාත්‍යන්තර තරුණ අද්දැකීම්ද හුවමාරු කරගැන්මට අවස්ථාව උදාවේ.

අධ්‍යාපනික ප්‍රදර්ශන, ක්‍රීඩා හා විනෝදාංශ වැඩසටහන්, නවීන මෝටර් රථ ප්‍රදර්ශන . හමුදා සංදර්ශනවලට එක් වීමේ අවස්ථාව මේ තරුණ තරුණියන්ට මෙහිදී උදා වේ.

මුද්‍රිත මාධ්‍ය මෙහෙවර මෙන්ම අන්තර්ජාල ගුවන් විදුලි සේවාවන් ගැන දැනුම හා අද්දැකීම් මේ තරුණ තරුණියන්ට ලබා දෙමින් මෙහිදී ලේක් හවුස් ආයතනය ද යොවුන් පුර භූමියේ ප්‍රදර්ශන කුටියක් ඉදිකොට ඇත.

මෙහි සිට අන්තර් ජාලය ඔස්සේ විකාශය කෙරෙන දිනමිණ ගුවන් විදුලි වැඩසටහන්වලට සජීවිව එක්වන්නට තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දී ඇත.

නලින් දිල්රුක්ෂ

 

Post a Comment

 
Top