මුහුදු මට්ටමේ සිට මීටර 1200 – 2300 අතර වූ උසින් පිහිටා ඇති හෝර්ටන්තැන්න, ශ්‍රී ලංකාවේ උසම තැනිතලා භූමියයි. මෙය හෝර්ටන්තැන්න වීමට පෙර හඳුන්වා ඇත්තේ මහවැලි තැන්න නමිනි. කපිතාන් විලියම් පිෂර්, කර්නල් ඇල්බට් වොට්සන් නමැති ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා විසින් මේ ස්ථානය සොයා ගනු ලැබූ මේ සොඳුරු තැනිතලාව , ශ්‍රීමත් හෝර්ටන් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුව එනමින් නම් කොට තිබේ.
අතිශයින් සුන්දර වටාපිටාවක පිහිටි මේ මනරම් භූමිය දහස් ගණනින් නැරැඹීමට පැමිණෙන්නේ, ලෝකාන්තය නම් වූ ප්‍රපාතය පිළිබඳ මනසේ ඇඳී යන කුතුහලය නිසා ය. කුඩා ලෝකාන්තය හා මහා ලෝකාන්තය ලෙසින් ස්ථාන දෙකක පිහිටි ගැඹුරු ආගාධ, බියකරු බව හා සොඳුරු බව රැඳි අපූර්ව සොබා දහමේ නිර්මාණ ය. මේ රමණීය භූමි භාගය නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් පැමිණෙන්නේ ඉහත කී කරුණු නිසාවෙනි.
නුවරඑළියේ සිට අඹේවෙල පට්ටිපොළ හෝ ඔහිය වැනි ප්‍රදේශ හරහා හෝර්ටන්තැන්නට පැමිණීම සාමාන්‍ය ගමන් ක්‍රමය වෙයි. වාහන ගමන් කිරීමේ පහසුව පැවැතීම ඊට හේතුවයි. එහෙත් සොබාදහමේ අපූර්වත්වය සැබෑ ලෙසම විඳ ගනිමින් හෝර්ටන්තැන්නට ළඟාවීමට ඇති හොඳ මඟ නම්, ආගරපතන හරහා පැමිණීම ය. ළිඳුල නගරයෙන් ආගරපතනට පැමිණ, ඉන් ඩයගම හරහා ආගරපතන තැන්නට පැමිණිය හැකි ය. හෝර්ටන්තැන්න සෑදී ඇත්තේ අතිවිශාල තණබිම් හා වනාන්තර රාශියක එකතුවෙනි. එම කොටස් එක් එක් නාමයන්ගෙන් හඳුන්වනු ලැබේ. ඒවා නම් කළේ ද ඉංග්‍රීසින් විසින් ම ය. ආගරපතන තැන්න ද ඉන් එකකි. ආගර ඔය ගලා බසින්නේ ද මේ තැන්නේ සිට ය.
ආගරපතන හා ඩයගම කුඩා නගර පිළිබඳව ද මෙහිදී සඳහන් කළ යුතුම ය. මේ නගරවල හා ඒ ආසන්න වතුවල ජීවත්වන්නේ ද්‍රවිඩ වැසියන් ය. මින් බොහෝ පිරිසක් සිංහල භාෂාව කතා කිරීමට නොහැකි තත්ත්වයෙන් පසුවන්නෝය. මේ වැසියන්ගෙන් මාර්ග පිළිබඳ දැන ගැනීම හෝ කරුණු විමසීම, මේ තත්ත්වය නිසා අපහසු ය. මොවුන් බොහෝ විට පාන් පිටි ආශ්‍රිත ආහාර අනුභව කිරීම නිසා වෙළෙඳසැල් තුළ ආහාරයට ඇත්තේ ද රොටී, පාන්, ඉඳිආප්ප, කොත්තු වැනි දේ ය. එසේ ම ඔවුන්ට ආවේණික ආහාර වර්ග ද හෝටල්වල සකසා ඇත.
ඩයගම නගරය පසු කරමින් සොඳුරු මඟ ඔස්සේ ගමන් ගන්නා විට, තැන්නේ පහළ කොටස තේ වගාවෙන් පිරී ඇති අයුරු දක්නට ලැබේ. ආගරපතන තැන්නට යන මඟ දෙපස තේ දලු නෙළන ළඳුන් හා කුඩා ළමයින් බොහෝවිට දක්නට ලැබේ. තම මාපියන් තේ වතුවල වැඩ කරන විට, ඊට උදවු කිරීම කුඩා ළමයින්ගේ සිරිතකි. තේ වතු මැදින් ක්‍රමිකව කඳු පෙදෙසට වැටී ඇති මඟ ටිකින් ටික කුඩා වෙමින් ගමන් මඟ කුඩා මං පෙතක් බවට පත්වෙයි. ඒ අතරතුර කුඩා මංමාවත් රැසකි. හුදෙකලා වූ තේ වතු මැදින් නියම මාර්ගය සොයා ගැනීම අති දුෂ්කර ය. කෙසේ වූව ද, තේ වතු කඳුයාය අවසන් වෙමින් වනාන්තරය ආරම්භ වන තැනට ගමන් කිරීම කටුක ගමනකි. හෝර්ටන්තැන්න රක්ෂිතයට ඇතුළු වන ස්ථානයේ ශ්‍රී ආරුල්මිතු කාට්ටු මාරියම්මන් දේවස්ථානය හමුවෙයි. වනයට ඇතුළු වන ඕනෑම අයකු දේවස්ථානයට පඬුරු දමා ආශිර්වාද ලබා ගැනීම සම්ප්‍රදායකි. දේවස්ථානය භාර කපු මහතා ආශිර්වාද කර උපදෙස් ලබාදෙන්නේ ඉන් අනතුරුව ය. කොළ අත්තක් කඩා, ගසක එල්ලා, අයියනායක දෙවියන් සිහි කර වනයට ඇතුළු වීම කවුරුන් වූව ද කළ යුත්තකි.
හෝර්ටන් තැන්නේ සැබෑ සොඳුරු රුව දකින්නට ඇත්තේ ඉන් අනතුරුව ය. පටු දුෂ්කර වූ මාර්ගය දෙපස කහ පාට මල් පිපුණු පඳුරු රැසකි. එකිනෙකට වෙනස් වූ විවිධාකාර මල් වර්ග දකින්නට ලැබීම මෙහි විශේෂත්වයකි. ඒවා බොහෝමයක් ශ්‍රී ලංකාවට ආවේණික වූ මල් වර්ග ය. මහ රත්මල්, මිටි උණ, මීවන හා නෙලූ විශේෂ මේ මඟ දෙපස අලංකාර කරයි.
වනපෙතේ ගස් වැවී ඇත්තේ එක පොකුරකට ය. එම වන පෙත මිනිසකුට රිංගා යාමට බැරි තරම් වන පොකුරකි. අප පත පොතින් අසා ඇති හෝර්ටන් තැන්නට අදාළ ශාක, සැබැවින්ම මේ මාර්ගයේ දී දැකගත හැකි ය. වෙරළු, බෝවිටියා, රසඳුන්, කුරුටිය, බෝඹු, සීතා පේර , වල් කීඩාරම්, කීන, නිල් බිනර මල් ඒ අතරින් කිහිපයකි.
නරඹන්නන් මේ ගමන් මඟ බොහෝ විට යොදා නොගන්නා බැවින්, හෝර්ටන් තැන්න භූමියේ සිටින වන සතුන් ද මේ ප්‍රදේශයේ බොහෝ සෙයින් දක්නට ලැබේ.
හෝර්ටන් තැන්න වඩාත් ප්‍රසිද්ධ වන්නේ ගෝනුන්ගේ වාස භූමියක් ලෙසට ය.
මේ වන සතුන් නිදහසේ දිවි ගෙවන්නේ 1969 දෙසැම්බර් මස 05 වැනි දින මේ වනය රක්ෂිතයක් ලෙස නම් කළ නිසාවෙනි. ගෝනුන් විශාල වශයෙන් මේ මඟ දෙපස සැරිසරන අයුරු අතිශයින්ම සොඳුරු දසුනකි. දිවියාගේ ප්‍රණීත ආහාරය ගෝනා නිසා, දිවියන් බහුල ලෙස ගැවසීම ද මේ මාර්ගය හා සම්බන්ධ සීමාවේදී දැකිය හැකි ය. පිග්මි කටුස්සා, දඬුලේනා, වල්ඌරන් හා මුගටියා මේ මාර්ගයේදී දැක ගත හැකි සතුන්ය.
සොබා දහමේ සැබෑ චමත්කාරය විඳිමින්, මේ මඟ ගමන් කිරීම අතිශයින්ම ප්‍රවේශම් සහගතව කළ යුත්තකි. වන සතුන්, උරගයන් බොහෝ ලෙස ගැවසීමත්, විටින් විට ඇතිවන මීදුම් වලා තත්ත්ව නිසාත් ආරක්ෂාකාරී වීම කළ යුත්තකි.
හෝර්ටන්තැන්න හා ලෝකාන්තය නැරැඹීමට යන නරඹන්නන්ට මේ ගමන් මාර්ගය මහත් ආස්වාදයක් ගෙන දෙන බවත්, ස්වභාව සෞන්දර්යයේ සැබෑ ස්වභාවය මොනවට පිළිබිඹු වන මාර්ගයක් බවත් නොකියාම බැරි ය.
සටහන හා ඡායාරූප
කටුකුරුන්ද සමූහ කපිල කුලසිංහ
Subscribe to:
Post Comments (Atom)
Post a Comment