ශ්‍රී ලංකාව ගැන පිටරටවල මිනිස්සුන්ගෙ හිතේ තියෙන චිත්‍රයේ පාට නෑ. කළු පාට ගල් ලෑල්ලක සුදුපාට හුණුකූරකින් ඇදලා තියෙන ඒ රූපෙ ඕන වෙලාවක මකලා දාන්න පුළුවන්. පිටරට හිත්වලට ලංකාව කියන්නෙ ජීවිතේට එකපාරක් දෙපාරක් රවුමක් ගිහින් එන්න පුළුවන් රටක් විතරයි.
ගහට ගහක් මුණ ගැහෙන්නෙ මොරටුවෙදි වුණාට, ලෝකෙ හිතාගන්න බැරි ඈත තැන්වලදිත් ගහට ගහක් සමහර වෙලාවට මුණගැහෙනවා. සිංගප්පූරුව කියන්නෙ කිසිම ඇදපළුද්දක් නැති සර්ව සම්පූර්ණ රටක්. හිස්තැන් පිරිච්ච, ඇදපළුදුවලින් ගහනවෙච්ච ජීවිත දෙකක්, ඒ වගේ රටක කෝපිහලකදී මුණ ගැහුණාම කාරණා කීපයක් සිද්ධවෙන්න පුළුවන්. යාන්තම් කටකොණට හිනාවෙලා එකිනෙකා නාඳුනන විදිහටම වෙන්වෙලා යන්න පුළුවන්. නොදැක්ක තාලෙන් අහක බලන් කෝපි කෝප්ප දෙක හිස්කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අදිසි ප්‍රේමයක් හටගන්න පුළුවන් කෝපිහල තුළම ඉතිරිකරලා නික්ම යන. තුන්වෙනි කාරණාව සිද්ධවුණත් අපි “නොසිදුවීමක්” සිදුවුණු ආකාරයට ඉන්න වගබලා ගන්නවා.
මේ තුන්වැනි කැටගරියේ කතාවක්. කෝපිහලෙන් එළියෙ පනවලා තියෙන ආසනවල ඉඳගන්නෙත් එක්තරා පන්නෙක මිනිස්සු. සීත කාමරවල සැපපහසුවක් නොදැනෙන උදවිය. අපි ඉඳගෙන හිටියෙ එළියෙ. අඩි හයක් විතර උස දේහධාරී මනුස්සයකුගෙ මූණට තැති ගත් පෙනුමක් ඉබේටම එන්නෙ නෑ. ඒත් එයාගෙ මූණෙ බියට පත් ගතියක් තිබුණා. ගැඹුරු බර කට හඬකින් එයා ‘හෙලෝ’ කියලා කිව්වෙ මම එතනින් ඉඳගත්තාම. මුකුත් නොකිය ඉන්න එක හොඳ නෑ කියලා හිතෙන්න ඇති. මමත් ආචාර කළා. සාමාන්‍යට වඩා මෘදු ගැහැනු කටහඬකින්.
කතාව පටන් ගැනුණෙ සරල සුබ පැතුමකින් වුණත් අවසානයට බොහොම දුර තිබුණා. ශ්‍රී ලංකාවෙ ඉපදිලා, හැදිලා වැඩිලා සිවිල් යුද්ධයට යන්න හේතුව විදිහට ඔහු කිව්වෙ, ‘වැඩිය ඉගෙන ගන්න කම්මැලි හිතුණා...’ කියලා. විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදිවුණා. තාත්තට අපට උගන්නන්න වැඩිය සල්ලි තිබුණෙ නෑ වගේ හේතු එයා කීවෙ නෑ. එයා හිතුවෙ මම ඉන්දියාවෙ කියලා. මම කීවෙ ඉන්දියාවෙ ගෑනු ළමයකුගෙ නමක්, ඊශා පටෙල් කියලා. ඒක එවෙලෙ කටට ආපු නමක්. ඒ ඇර වෙන අමුත්තක් තිබුණෙ නෑ.
ඒ බොරු නම එයාගෙ ඇත්ත කතාව මාත් එක්ක කියන්න හේතු වුණා. ආධුනික සෙබළු විදිහට හමුදාවට බැඳිලා මුලින්ම යුද්ධෙට යනකොට හිතේ තිබුණෙ වීරකමක් කියලා එයා කිව්වෙ නෑ. ‘මට බය හිතුණා’ කියලා කීවෙත් නෑ. ශ්‍රී ලංකාවෙ යුද්ධෙ කියන්නෙ හරිම භයානක දෙයක් විත්තියත් ඒ යුද්ධෙදි හුඟක් අය මැරුණු විත්තියත් එයා කිව්වා. එයත් එක්ක එකට හිටපු කණ්ඩායමේ විස්සෙන් දාසය දෙනෙක් ඇස් ඉස්සරහ මරලා දානකොට ඇති වුණු හැඟීම එයා වචන කළේ නෑ. එයා ඒ ගැන කිව්වෙ හිස් ආකහේ දිහා බලාගෙන.
ඊටත් පස්සෙ ඉතුරු වෙච්ච හතර දෙනාගෙන් දෙන්නෙක්ව කෑලිවලට ඉරලා මරලා දානකොට මුකුත්ම හිතුණෙ නෑ කියලයි එයා කීවෙ. එයත් හිටියෙ මරණයට ලෑස්ති වෙලා. මරණයට ලෑස්ති වුණාම මුකුත් දැනෙන්නෙ නෑ. කෑලි කෑලිවලට ඉරලා මරලා දාන සෙල්ලම හතුරො කියලා අපි නම් දීපු උදවියට එපා වෙච්ච හින්දා එයයි, ඉතිරි කෙනෙයි මරන්න තීරණය වෙලා තියෙන්නෙ වෙනමම විදිහකට. ඉතිරි කෙනා එයාගෙ ‘හොඳම යාළුවා’. ‘අපි දෙන්නා ගිහින් හමුදාවට බැඳෙමු මචං කියලා’ කරටත් අතක් දාගෙන කියපු ඉස්කෝලෙ එක බත් එක බෙදාගෙන කාපු මිත්‍රයා.
‘ඔයාගෙ අතට මොකද වෙලා තියෙන්නෙ?’ මම ඇහුවෙ අහන්න ඕනෙ ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් එයා කතාව කියන විදිහෙ තියෙන දුක ගතියට විරාමයක් දෙන්න මට ඕන වුණා. ඒ අත් විදුලි කටුවකින් හිල් විදලා තිබුණා. ‘ඒ මරන්න කලින්’ එයා කිව්වා.
ඊට පස්සෙ ඒ දෙන්නවම කඹේක බැඳලා දෙතුන් වතාවක් නිර්වස්ත්‍රයෙන් මූදෙ ගිල්ලවලා පස්සෙ මූදට අතෑරලා යන්න ගිහින්. ‘අපේ ඇගවල් පුරාම ලේ’ එයා කිව්වා. තමන්ව ගිලගන්න මිනීමරු මෝරු එනවා පෙනෙද්දි ජීවිතේ වෙනුවෙන් ඇගේ ඉතිරි වෙලා තිබුණු ඉතුරු ශක්තිය ටික වැය කරන්න එයාලට සිද්ධ වෙලා. කෑම බීම නැතුව හිටපු දවස් කීපය හින්දා ඒ ශරීරකූඩුවල ශක්තිය ඉතුරු වෙලා තිබිලා නෑ. ඒත් එයාලා පුළුවන් තරම් පීනලා. දවස් දෙක තුනක්. රැයක් දවාලක් නැතුව.
එයාගෙ යාළුවා දවස් තුනකට පස්සෙ නො එන්නම ගිහින්. ඊට පස්සෙ එයා විතරයි. එයා යාළුවව තුරුල් කරගෙන. යාළුවව අත ඇරලා ජීවිතේ වෙනුවෙන් පීනන්න එයාට හිතිලා නෑ. යාළුවගෙ බරත් අරගෙන පීනන්න බෑ. ඊට පස්සෙ රෑ වෙලා. තවදුරටත් යාළුවා එතන නෑ. මිය ගිය ශරීරයක් විතරයි. ඊට පස්සෙ යාළුවගෙ සිරුර මූද මතුපිට පාවෙන්න පටන් අරගෙන. එයා යාළුවගෙ ශරීරයට වාරුවෙලා නම නොදන්නා නින්දකට වැටිලා.
ජීවිතේ සැලසුම් වෙලා තියෙන්නෙ අපිට ඕන විදිහට නෙමෙයි. ධීවර බෝට්ටුවක් ඇතුළෙදි නින්දෙන් ඇහැ ඇරෙනකොට එයාට ජීවිතේ ගැන හිතන්න වෙන දෙයක් ඉතුරු වෙලා තිබිලා නෑ. සමහර සිදුවීම්වලින් පස්සෙ ජීවිතේ සාමාන්‍ය වෙන්නෙ නෑ. හුඟාක් සල්ලි තියෙනෙ මිනිස්සු ජීවිතේ පෙරළන සමහර සිදුවීම්වලට පස්සෙ ආරණ්‍යවලට ගිහින් භාවනා කරනවා. දුප්පත් මිනිස්සු ලොතරැයි ඇදුණාම තමුන් කවදාවත් ගතකරලා නැති ජීවිතයක් ගතකරලා අන්තිම සතේටම සල්ලි වියදම් කර ගන්නවා. තමන් කරමින් හිටපු දෙයට හාත්පසින් විරුද්ධ දෙයක් ජීවිතේ සාර්ථක කරාවි කියලා මිනිස්සු හිතනවා.
‘අපේ පුතාට මොකද වුනේ?’ කියලා හොඳම යාළුවගෙ අම්මා අහද්දි එයාට දෙන්න උත්තරයක් තිබිලා නෑ. ‘අපි දෙන්නවම මූදට දැම්මා..’ කියනවා ඇරෙන්න එතනින් එහාට කතාව කියන්න එයාට වාරු තිබිලා නෑ. ‘ඔහේ අපේ පුතාව මැරුවද?’ කියලා හොඳම යාළුවගෙ තාත්තා අහනකොට තමුන්ගෙ ඇගේ හිරිගඩු පිපිච්ච විත්තිය එයා කීවෙ නෑ.
තමුන් සිංගප්පූරුවට ආපු විත්තියත් ආයෙ කවදාවත්ම ඉන්දියන් සාගරේ මුතු ඇටය දිහා ඇහැක් ඇරලා නොබලන විත්තියත් එයා මාත් එක්ක කිව්වා. ‘ඔයාලයි රටේ ගෑනූ ළමයෙක් කසාද බැඳලා දැං මං සතුටින් ඉන්නවා’ මූණෙ අමාරුවෙන් ඇදගත්තු හිනාවක් එක්ක එයා කිව්වා.
මං ඊශා පටෙල් කියලා මට හිටි ගමන් මතක් වුණා. සමහර විට එයා මට කතාව කිව්වෙ ඒ හින්දා වෙන්න ඇති.
‘එයා මේ ගැන දන්නවද?’ මං ඇස් පුංචි කරලා ඇහුවා.
‘නෑ’...ඒක තනි වචෙනෙ උත්තරයක්.
ගස් නැති නගරයක උස තට්ටු බිල්ඩින් උඩින් ඉර බැහැගෙන යමින් තිබුණා. හිස් වෙච්ච කෝපි කෝප්ප දෙකක් එකිනෙකා දිහා බලාගෙන උන්නා. ඒක හරිම හිස් බැල්මක්. එයාගෙ ජීවිතේ අංශක 180ක් විරුද්ධ දිශාවට ගලාගෙන යමින් තිබුණා. ‘සතුට’ කියන්නේ අකුරු තුනක වචනයක් විතරයි කියලා හිතාගෙන එයා හිත හදාගෙන තිබුණා.
දසුනි හෙට්ටිආරච්චි
nellikathandara@gmail.com
Top
Post a Comment