728x90 AdSpace

 

සිංහරාජ හරිත වර්ණ වන පෙතේ තුරුලතාවලට මුවා වී, ඝන වනාන්තරයට සුන්දරත්වය එක් කරන සොඳුරු දිය ඇලි ගණන 25කි. අප නවාතැන් ගත් වනිගසේකර ශාලාවෙන් පිටත් වී, ගිං ගඟේ වැල් පාලමෙන් එගොඩ වී, ‘සිංහලේ රාජ වනයට’ ඇතුළු වූයේ දිය ඇලි සොයා යාමේ අරමුණෙනි.
ොඅහස සිඹින හොර, දොරණ හා ඇටඹ ආදී මහා රූස්ස ගස් අතරින් එබී බලන හිරු කිරණ , ඝන වන‍යේ අඳුරු බව පලවා හැර, පොළොව මත අපූරු රටා මවයි. වියැළී හැලී විසිරුණු කොළ රොඩු සඟවා ගත් මුල්, ගල්, ගමනේ වේගය බාල කරයි. වි‍ටෙක මඟ පෙන්වන්නාගේ වේගවත් ගමන ද නොරිස්සුම් බවක් ඇති කරයි.

ස්වභාවික පරිසරයේ හරිත වර්ණ වටපිටාවේ දැනෙන වෙහෙස දිය වී ගොසිනි. කුරුලු කූජනය අභිබවා විශාල ජල කඳක් කඩා හැලෙනා ශබ්දයෙන් දෙසවන් පිරී තිබේ. ගමනේ පළමු ඇල්ලට අප දැන් ළඟා වී සිටින්නෙමු‍. අංශක 40 පමණ ඇල පර්වතයක් මත දුහුලු සළුවක් එලුවා සේ ගලා හැලෙන මීටර් 20 ක උසකින් යුත් මේ ඇල්ල ඌරන් වැටුණු ඇල්ල ලෙස හඳුන්වයි. මේ ඇල්ල හොඳින් නැරැඹීමට නම්, තවත් ඉහළට යා යුතු ය.

මඟ පෙන්වන්නා ලුහු බඳිමින් ම අප ද මීටර් 300ක් පමණ කෙටි බෑවුමක් ඔස්සේ ගමන ඇරැඹුවේ, ඇදහැළුණූ මහා වර්ෂාව නොතකමිනි. කැලයෙන් වැසී තිබූ කොන්ක්‍රීට් පීඨිකාවක් අසලදී ගමන නතර විය. එය ආරක්ෂක වැටකින්ද එය සමන්විත වී තිබිණ. ජලය ගලා යන ශබ්දය ඇසුනත්, ඇල්ලක් පෙනෙන්නට නැත. ආරක්ෂිත වැටට බර දී පහළ බැලූ විට, හෘදස්ඵන්දනය ඉහළ යන්නේ ඉබේටම ය. අඩි 4 ක් පමණ පළලින් හා දිගින් මීටර් 40 ක්වූ ගල් දෙ‍බොක්කාවක අඩි 104 ක් පහළ ගැඹුරේ දිග් අතට සුදෝ සුදු පෙණ පිරි, 'ගල් ඔරුව ඇල්ල' පෙනේ. මෙය සුවිශේෂී වන්නේ, දික් අතට දැකගත හැකි එක ම ඇල්ල නිසාවෙනි.

කෙටි මඟකින්, කූඩැලි ප්‍රහාර මැද ආ කණ්ඩායම, ජල පහර දිගේම තවත් පහළට පය එස වීය.

ඇද හැළෙන මහා වර්ෂාවෙන් ප්‍රචණ්ඩ වූ ඔයේ දඟකාර ජල පහර, පෙණ නංවමින් ගල්වල හැපි හැපී අපූරු රංගනයක යෙදෙන්නේ අධික වේගයෙනි. අපි, පහසු ස්ථානයකින් එහා ඉමට පැන ගන්නට ඉව අල්ලමින්, ගල් මත විශ්වාසය තබා ගමන් කළෙමු.

ගස් අතු පීරාගෙන ආ අපගේ ගමන නැවතුනේ විවෘත එළිමහන් වටපිටාවක ය. ඉදිරියෙන් තවත් දොළ පාරකි. මදක් ඉහළට වන්න පඩි පෙළක් සේ නිර්මාණය වූ පර්වතයේ, තට්ටු දෙකකින් පහළට ගලා හැලෙන 'තට්ටු ඇල්ල' පෙනේ.

ඉදිරි ගමන් මඟ වැටී ඇත්තේ ද ඇල්ල හරහා ය. පයලා සිටි සපත්තු බෙල්ලේ එල්ලා ගත් සගයෝ, ඔය තරණයට සූදානම් වූහ.

නොකඩවා ඇද හැළුණු වර්ෂාවට වෙහෙසක් දැනී ඇති සෙයකි. තෙත බරිත ඇඳුම් ඇඟට ඇලී ගොසිනි. ගත දැවටෙන සුළං දළු, ඇ‍ඟේ හිරිගඩු නංවයි. එය දෙගුණ වූයේ සීතල ජලයට පය තැබීමත් සමඟ ය.

ඔයේ ජලය ඉතා පැහැදිලි ය. වැලි අතර විසිරුණු ගල් කැට අපූරු හැඩකාර නිර්මාණ කීපයකට වග කියයි. දුෂ්කර කඳු තරණය අවසාන‍යේ ගල් කුට්ටි විසිරුණු ස්ථානයක අප අතරමං විය. සිහින් කෙඳිරි නංවමින් පෙනී නොපෙනී ගලන දොල පාර මතින්, අප ඉදිරියට ගියේ ගලින් ගලට පනිමිනි.

විශාල පර්වත කීපයකට මුවා වී, මීටර් 22ක් පහළ තටාකයට දිය පුරවන යෝධ ජල ක‍ඳේ පිනි විසිරෙන්නේ දූවිල්ලක් ලෙසිනි. මෙය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ 'ලංකාගම දූවිලි ඇල්ල' නමිනි.

ඉතා දුෂ්කර පර්වත බෑවුමක පිහිටි පතන් ඔය ඇල්ල මීළඟ ඉලක්කය විය. ළඟාවිය නොහැකි තරමට මහා පර්වත, ආරක්ෂක බැම්මක් සේ උජාරුවෙන් නැගී සිටිති. මාත් සමඟ පැමිණි සගයන් කීප දෙනකු එම ස්ථානයේ ඇද වැටී තුවාල වීම නිසා, ඉදිරියට යාම අපි අත්හලෙමු.

ඉදිරි ගමන් මඟ දුෂ්කර ය. බෑවුම් මතින් ගස්වැල්වල එල්ලෙමින් මීටර් කිහිපයක් පහළට බැසිය යුතු ය. පෙණ පිඬු නංවමින්, සුදෝ සුදු ජල කඳ කුඩා කඩතොලු තැනෙකින් , පළල්, නිසසල තටාකයට ඇද හැලෙන්නේ, නෙත් සිත් වසඟයට පත් කරමිනි.

නමින් බ්‍රාහ්මණන ඇල්ල ලෙස හඳුන්වන මෙය, උසින් මීටර් 17 ක් පමණ වේ. වෙහෙස දැනෙන ගතට දිරිය ලබන්නටත්, විඩාව නිවා ගන්නටත් කරන වශීකෘත ආරාධනය අප ඉවතලූයේ, තටාකයේ ගැඹුර පිළිබඳ ඇතිවූ සැකය නිසාවෙනි.

දවසේ පරිණත බව ඉක්ම ගොසිනි. අපි, හැඩවෙවී ගලන ඔයට සමාන්තරව ගමන් කරමින් සිටිමු. මඟ පෙන්වන්නාගේ උපදෙස් පිට, පහසු තැනකින් එගොඩ වීම, සියල්ලන්ගේම තීරණය විය. නොගැඹුරු, එහෙත් වේගවත් ජල පහර දෙපතුලට ගෙන දෙන්නේ ප්‍රාණවත් බව ගැබ්වූ සිසිලසකි. තුරුලතා අතරින් විශාල ගල් කුළුවලට මුවා වී, හිරු කිරණින් දිළිසෙන කැකුණ ඇලි කොමළිය දෑස් මායිමට ළඟාවී තිබේ.

ඉතා දැකුම්කළු ස්වභාවික ජල තටාකය පිරවීමට මීටර් 11 උසක සිට ඇයට පනින්නට සිදුව තිබේ. ආකර්ශනීය ජල තටාකය බොහෝ අයගේ ගිමන් නිවන සොඳුරු තැනක් වී හමාර ය.

සුන්දර වන රොදක ගෙවූ හෝරා කීපය නොදැනීම ගෙවී ගොසිනි. දවස පුරාම දැනුණු වෙහෙස, පහළ පිහිටි සුන්දර ඉසව්වකට ජලයේ පාකර යැවූ අප කණ්ඩායම, නැවත පැමිණියේ නැවුම් අත්දැකීම් ගොන්නක් තුරුලු කර ගනිමිනි.

සටහන කුමුදු ගුණසේකර

ඡායාරූප කුමුදු ගුණසේකර සහ සුදත් ධනුෂ්ක

Post a Comment

 
Top