728x90 AdSpace

 

මංජුලා මල්කාන්ති

ඇය කේක් නිර්මාණයට අයිසිං කලාවට දක්වා ඇති දස්කම් විස්කම් විදේශ රටක ඇගැයුමට ප්‍රසංශාවට ලක්ව ඇති අයුරු බලන විට හැඟී යන්නේ ‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියමන ඇය වඩාත් හොඳින් සනාථකර ඇති බවයි.
ඇය පිළිබඳ මෙවන් සටහනක් ඔබ හමුවේ පෙළ ගස්වන්නට අපට සිතුණේ අපේම රටේ කාන්තාවක් වන ඇය ඉතාලිය වැනි විදේශ රටකදී තම දක්ෂතා දක්වමින් තම මවුබිමට ආඩම්බරයක් ගෙන දුන් දිරිය කාන්තාවක් වී ඇති නිසයි.
අයිසිං කලාවට ඇය දැක්වූ දස්කම් නිසාම ඉතාලියේ ඇයව දැන හඳුනන්නේ රෝයල් අයිසිං රැජින ලෙසයි. අටුවා ටීකා අවශ්‍ය නෑ. ඉතාලිය වගේ අතිශයින්ම කේක් කලාව ප්‍රකට රටක එවැනි අභිමානයක් පැතිරවීමට හැකියාව ලැබීම රටටම ආඩම්බරයක්.
ඇය ශකිලා ලියනපතිරණයි. කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි ශකිලා අප හමු වූ මොහොතේ කළ කතාබහයි මේ.

කේක් කලාවට යොමු වී දැන් කොපමණ කලක් වෙනවාද?
මම කේක් හදන්නට පටන් ගත්තේ අවුරුදු 17 දීයි. මුලින්ම කේක් නිර්මාණ කළේ මගේ සීයායි. ඔහු ඉතාම දක්ෂ කේක් නිර්මාණ ශිල්පියෙක්. ඉන්පසුව එයට යොමුවුණේ අම්මායි. මං හිතන්නේ මං මේ දෙදෙනාගේම ආභාෂය ලබන්නට ඇති.
මම ඉතාලියට ගියාට පසුව එහෙදි කේක් කලාව ගැන අයිසිං කලාව ගැන දැනුම පුහුණුව ලැබුවා. එම දැනුමයි හැකියාවයි එක්ක මම ඉතාලියේ කේක් ප්‍රදර්ශනයක් පැවැත්වූවා. එයට කේක් නිර්මාණ සියයක් විතර ඇතුළත් වුණා. ඉතාලියේ පදිංචි අපේ ලංකාවේ අය මෙන්ම ඉතාලියේ අයත් බොහෝ දෙනෙක් මෙම ප්‍රදර්ශනය නරඹන්න පැමිණ සිටියා. ඉන්පසුව මම කේක් ප්‍රදර්ශන පහක් පමණ පවත්වා තිබෙනවා.
එයින් නොනැවතුණු මේ දිරිය කාන්තාව ඉතාලියේ කේක් තරග සඳහා සහභාගි වී ජයග්‍රහණ හිමිකරගනු ලැබුවේ එරටේ අය පුදුමයට පත් කරවමින්. එහිදී ඇයට එංගලන්තයට යාමට ශිෂ්‍යත්ව දෙකක් ලැබී ඇති අතර එහිදී කේක් සම්බන්ධ ප්‍රසිද්ධ ආයතනයකට යොමු වී කේක් කලාව පිළිබඳ වැඩිදුර දැනුම පුහුණුව ලැබීමට හැකිවීම ඇයගේ ඉදිරි ගමනට මහත් රුකුලක් විය.
මේ සියල්ලටම මට ශක්තියක් වුණේ මගේ මහත්තයයි. ඔහුත් කේක් නිර්මාණ කලාවට සම්බන්ධ වී ජයග්‍රහණ ලබා තිබෙනවා. දැන් අප දෙදෙනාම මෙහෙ කේක් නිර්මාණයේ යෙදී සිටිනවා. මේ වන විට අප ඉතාලියේදී අපේ කේක් සඳහා රන් සම්මාන දෙකක් ලබා තිබෙනවා.
ශකිලා මේ වන විට ඉතාලියේ ඹ්චනචඤ නම් අයිසිං සමාගමේ සේවයේ යෙදී සිටින අතර එහි නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි කරන ලද තමන්ගේම කේක් පාසලක් පවත්වාගෙන යයි. මේ සඳහා ඉතාලියේ පදිංචි ලංකාවේ කාන්තාවන් මෙන්ම වෙනත් රටවල කාන්තාවන් ද සහභාගි වන බව ඇය පවසයි.
මෙහිදී අප ඔවුන්ට ලබා දෙන්නේ කේක් නිර්මාණයේ මූලික දැනුමයි. එම මූලික දැනුම ලබාගත් පසු ඔවුන්ට ඉතාමත් දක්ෂ විදිහට කේක් නිර්මාණයේ යෙදෙන්නට පුළුවන්. මෙම දැනුම ලබාදෙන්නට අප මාස ගණන් කල්ගත කරන්නේ නෑ.
දින කීපයකින් අප අවශ්‍ය දැනුම ඔවුන්ට ලබාදෙනවා. දැන් ඉතාලියේ කාන්තාවන් වැඩි දෙනෙක් තමන්ගේ රැකියාවට අමතරව කේක් නිර්මාණයේ යෙදී සිටිනවා. ඉන් හොඳ ආදායමක් උපයා ගන්නටද ඔවුන්ට හැකිවී තිබෙනවා.
මේ වන විට විදේශ රටක කේක් නිර්මාණයේ ප්‍රවීණයකු වන ඔබ අපේ රටේ කේක් නිර්මාණ කලාව දකින්නේ මොන ආකාරයෙන්ද?
කේක් සම්බන්ධව මෙහි අඩුපාඩු දක්නට ලැබෙනවා. කේක් ගැන ඉගෙන ගැනීමේදී ඔවුන් දැනුවත් වන්නේ හදන කේක් ගැන විතරයි. නමුත් එතැනින් එහාට මේ පිළිබඳ දැනගත යුතු දේ බොහොමයි. කේක් නිර්මාණයේදී පිළිවෙළ පිරිසුදුකම, අදාළ මූලික ක්‍රමවේදයන් ගැන දැනුම තිබිය යුතුයි. කේක් කියන්නේ හැමදාම එකම විදිහට එකම ආකාරයට කේක් නිර්මාණ කරන එක නොවෙයි. අපේ ලංකාවේ අය යොමු වී ඉන්නේ කේක් නිර්මාණ කලාවේ එක් කොටසකට විතරයි.
දැන් කේක් නිර්මාණ කිරීමේදී පාවිච්චියට ගැනෙන අලුත් උපකරණ තිබෙනවා. වැඩි දෙනෙක් මේ උපකරණවලින් වැඩ කරන හැටි දන්නේ නෑ. හේතුව පන්ති පැවැත්වීමේදී මේ පිළිබඳ අවධානයක් යොමු නොකිරීමයි. කේක් සඳහා ගැනෙන අලුත් උපකරණ ලංකාවේත් තිබෙනවා. නමුත් අපේ අයට ඒ දේවල් ගැන තිබෙන දැනුම අල්පයි.
දැන් ඉස්සර වගේ අයිසිං වර්ග හදමින් කාලය වැය කරන්නට අවශ්‍ය නෑ. එම මොහොතේම ගෙනවිත් අයිසිං කළ හැකි ආකාරයට අයිසිං වර්ග සකසා තිබෙනවා. මෙය හරිම පහසුයි. මා භාවිත කරන්නේ එම අයිසිං වර්ගයි.
ඇත්තෙන්ම හොඳ දැනුවත් බවකින් කැපවීමකින් යුතුව කරනවා නම් කේක් කලාව කියන්නේ හොඳ ස්වයං රැකියාවක්. මෙය ස්වයං රැකියාවක් හැටියට කරන්න බලාපොරොත්තුවනවා නම් මේ පිළිබඳ දැනුවත් වෙමින් අප ඉදිරියට යා යුතුයි.
මම ඉතාලියේ රෝයල් අයිසිංවලින් අලුත් නිර්මාණ කරනවා.
ඒ නිසාම එහෙ අය මාව හඳුන්වන්නේ රෝයල් අයිසිං රැජින කියලයි. එයට හේතුව කේක් තරගවලින් මා වඩාත් ජයග්‍රහණය කර තියෙන්නේ රෝයල් අයිසිං වලින් කළ නිර්මාණ නිසයි.
ඔබ ලද සුවිශේෂී දැනුම අපේ ලංකාවේ කාන්තාවන්ට ලබා දෙන්න අදහසක් නැත්ද?
ලංකාවේ වැඩි දෙනෙක් ඒ සඳහා ඉල්ලීම් කළා. ඉදිරියේදී ලංකාවේ කේක් ප්‍රදර්ශනයක් පවත්වන්නත් නිවාඩුවට පැමිණි විට ඔවුන්ට දැනුම ලබා දෙන්නත් මා බලාපොරොත්තු වෙනවා.
ඉදිරියේදී කේක් සම්බන්ධව දැනුම ලබන්න - ඇයව හමුවන්න ඔබට අවස්ථාව උදාවේවි. කේක් සම්බන්ධව ශකිලාගෙන් වැඩි විස්තර දැනගන්නට කැමතිනම් Shaki sugarcraft Academy -face book www.shakicake.comවෙත පිවිසෙන්නට ඔබට පුළුවන්. 0718608540
 ඡායා - ප්‍රභාත් රඹුක්වැල්ල

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top