සති අන්තයේ දී මට අනගි පොත් දෙකක් කියවන්න ට ලැබිණි. ඉන් එක් පොතක දොරට වැඩීමේ අවස්ථාවට එක්වන්නට ද මට අවස්ථාව ලැබිණි. ඒ සයිබර් අවකාශය ඔස්සේ ලද දැන හැදුනුම් කමක් නිසාවෙනි. අනෙක් පොත මා අතට පත් කළේ තවත් සයිබරයෙන්ම අදුනාගත් මිතුරෙකි. මෙම පොත් දෙකම කියවීමෙන් මම නොමද ආශ්වාදයක් වින්දෙමි.
එකිනෙක කරුණු දෙස විමසිල්ලෙන් බලන කල මේ පොත් ද්වන්දයෙහි සමාන කම් බොහෝ ය. දෙකම කවි පොත් ය. කතුවරුන් දෙදෙනාම කාන්තාවන් ය. දෙදෙනාගේම දෙවන පුස්තක නිර්මාණය ද මේ කෘති දෙකම විය. අන්තර්ගත කාව්‍ය නිර්මාණයන් හි ප්‍රස්තුතයේ ද බොහෝ සමානකම් තිබිණි. මෙන්න ඒ පොත් දෙක......
1) ආරුක්කු කවියක් යටට එන්න - දිනිති දීපිකා - කර්තෘ ප්‍රකාශනයකි
2) කටු පොකුරු - පද්මිණී ශ්‍රියාලතා - කර්තෘ ප්‍රකාශනයකි
කවි පොත් එළි දැක්වීම මේ වන විට සිදුවන්නේ ඉතාමත්ම අඩුවෙනි. එයට ප්‍රධාන හේතුව වෙන්නේ කවි පොත් සඳහා ප්‍රකාශකයෙකු සොයාගැන්ම කළු නික හොයනවාටත් වඩා අසීරු විමයි. ප්‍රකාශකයන් කාව්‍ය සංග්‍රහ එළි දක්වන්නට මැලි කමක් දක්වන්නේ එය අලාභ ගෙන දෙන කටයුත්තක් බැවිනි.
කාරනය ඇත්තය. ඒ මන්ද යත් කවියක් කියවා රස විදින්නට එන පාඨකයන්ට සිදුවන්නේ කාව්‍ය නිර්මාණ නමින් එන කතුවරයා ගේ ගැට පද පිරි ප්‍රෙහේළිකා පුරවන්න ට වීම ය. ඉදින් රස විදිම කෙසේ වෙතත් සිදුවන්නේ ගත්ත පොතට ද ගෙවූ මුදලට ද දෙස් දෙවොල් තැබීම ය. එයින් වන්නේ මුදලක් ගෙවා කවි පොතක් මිල ට ගන්න ට එන පිරිස අඩූ ව යාම ය.
අපේ කාලයේ කවියේ හිමිකරුවන් සේ පෙනී සිටින පරවේනී කවියන් ගේ නිර්මාණ තුළ පවා දක්නට ඇති ලක්ෂණයකි මා ඉහත පෙන්වා දුන්නේ.
කවියක තිබිය යුතු අලංකාර යෙදුම් මෙන්ම මතුපිට වියමනට නොදෙවෙනි යටි පෙළ අරුත් ඇති රිද්මයානූ කූල බව කැටි කොට ගත් සුගම බස් වහරකින් කවි ලියන ප්‍රවීණයෝ සිටිත් නම් ඒ ද ඉතාම අතලොස්සකි. එවන් නිර්මාණ කෙරෙත් නම් අප වන් දුහුනන්ට පවා කියවා තේරුම් ගන්නට හැකි ය. කියවන බහුතරය කවියට සුරු විරුකම් පාන්නෝ නොවෙත්. අප හා එකඟ වුව නොවුව කවි ලියන්නෝ වටහා නොගත් සත්‍ය මෙයයි.
අවශේෂ පාඨකයෙකුට තේරුම් ගත නොහි හුදු වදන් හරඹ අද කවි බවට පත්ව ඇත. ඒවායේ තේරුම් දන්නේ කවී හු ම ය. එවන් කවක් තේරුම් ගන්නට උත්සාහ කරනා දුහුනා කාව්‍යකරනය නොදත් මැට්ටෙකු සේ කවියෝ දකිත්. ඔවුහු විද්වත් සභාවල දුහුනන්ට නොතේරෙන සංවාද කරත්. නූතන කවියේ පිරිහීමට මුළු දුන් ප්‍රධානම කරුණ මෙය යැයි මම නොබියව චෝදනා කරමි. (කියවන්නා පුළුල් ලෙස බස නොදත්තෝ යැයි මා හා වාද කරන්නට බොහෝ විට ඉඩ තිබේ).
අඩුම තරමින් ප්‍රවීණ කිවිවරයන්ගේ නිර්මාණ තුළ අවම වශයෙන් තම එක් එක් නිර්මාණය පිළිබඳ කෙටි හෝ විවරණයක් (ඒ ඒ නිර්මාණ යේ අනුභූතීන්)සහිතව පළකරන්නේ නම් එය දුහුනන්ට අත්වැලකි. රසාස්වාදය ඔප් නංවාගන්නට මං පෙත් විවර කිරීමකි.එවන් කටයුත්තක් සිදු වේ නම් පොත් අලවිය මෙන්ම කියවා රස විඳින්නට එන පිරිස ද වැඩිවනවා නොඅනුමාන ය. නැතිනම් සිදුවන්නේ නොදන්නා වදන් වැල් සමඟ ඔලුව අවුල් කොට ගෙන පොත පැත්තකට දමන්න ට ය.
ඉහත පෙන්වා දුන් දොසින් දුරස් පොත් දෙකක් ලෙස ය මේ නවක කිවිඳියන් දෙදෙනාගේ පොත් දෙක මා දකින්නේ. ඒ හෙයින් ම මේ පොත් දෙක ම එක සේ රස විඳිමින් කියවා දැමුවෙමි. ඒ කියැවිම් ඔස්සේ බොහෝ ඉසව් ඉසව් කරා මම පිය නැගුවෙමි. එවන් මනස් චාරිකාවකට මා රැගෙන ගිය කිවිඳියන් දෙදෙනාටම තුති.
මෑත කාලීනව නිර්මාණකරණයේ යෙදෙන ස්ත්‍රීන් ගේ නිර්මාණ තුළ මා දුටු ප්‍රකට ලකුණකි ස්ත්‍රීවාදී ගති ලක්ෂණ. ස්ත්‍රීවාදය මට මහත් අපුලක් ගෙන දේ. මට අනුව ස්ත්‍රීවාදය යනු සමාජ ව්‍යසනයකි. එහි නියම තතු වැටහෙනුයේ අද නොවේ මතු දිනය. එවිට පෙරහර ගොස් හමාර ය.
දිනිති දීපිකා මෙන්ම පද්මිණී ශ්‍රීයාලතා තම කාව්‍යකරණයේ දී සමාජයේ තතු හොඳින් විනිවිද දකී. පොදුවේ ස්ත්‍රියට මුහුණ පාන්නට සිදුවන ගැහැට පිළිබදව කතා කරයි. එහෙත් ඒ ස්ත්‍රිවාදි දැක්මකින් නොවේ. සමාජ වෛරයකින් තොරව හද කම්පිතව සමාජය දෙස නෙත් යොමයි. එයයි මේ කෘති ද්විත්වයේම ඇති සුවිශේෂී කම. මේ කිවිඳියන් දෙදෙනාම සමාජය දකින්නට, තම නිර්මාණ හරහා විටින් විට විවිධ චරිතයටන්ට පණ දෙයි. එමගින් කිවයුත්ත මැනවින් කියා පායි.
දිනිති දීපිකා ගේ කවි දෙස බැලීමේ දී ඇය පරාක්‍රම කොඩිතුවක්කු හා නන්දන වීරසිංහ කවියන් ගේ නිර්මාණ ආභාෂය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වා ඇතැයි පෙනේ. ඇය රිද්මයට වඩා මුල් තැන දී ඇත්තේ වචනාර්ථ පෙළ ගස්වන්න ට ය. කවියේ කොමල බව ට වඩා ඇය වෙහෙසෙන්නේ අරුත තිවෘ කරවන්නට ය.
මේ එයට නිදසුන් දෙකකි....
නැගිටපන් පුත නැගිටපන්.......
හන්දියේ මැද හරස් කරලා
තොරන් බඳිමින් සෑදූ
මහා පිළිමය අඬනවවා අද
දිනූ රට දෙස බල බලා
පුතේ නොසිතා සෙලවියන් පුතේ..
මදැයි උන්නා එක තැන රැඳී...
පිටුව 12 ආරුක්කු කවියක් යටට එන්න...
නොකියා කොහොමද ජීවිතේ හැටි ඔහොමයි......
හදිස්සේයේම නංගිගේ ගෙදර ගිය විට
කුස්සි පොඩ්ඩෙ පොල් අත්තෙ
හිල් මතින්
අහස් කුස ඇය බලනවා
කසිම කම්පනයක් නොවුවත් ඇස අයින
කඳුළු බිඳු දෙක තුනක් බිම හලනවා....
පිට 23 ආරුක්කු කවියක් යටට එන්න...
පද්මිණී සිය නිර්මාණ හරහා වෙහෙසෙන්නේ අරුත පෙළ ගස්වන ගමන් කෝමල විරිත ද සුරැකිව රැගෙන යන්නට ය. ඇගේ බස් වහර ඉතා සරල ය සුගම ය. එහි කාව්‍යෝක්ති බහුල ය. මතුපිට අරුතින් එහා ගිය යටි පෙළක් කියවන අප සිත් හි සිතුවම් වේ. නිවැරදිව ම කිව හොත් රන්න ශ්‍රි විජේසිංහයන්ගේ නිර්මාණයක් කියවන වා වගේ හැගුමක් මට දැනිනි. එසේත් නැතිනම් ධර්මරත්න පෙරේරාගේ කවි සේ සරල ය.
මේ එයට නිදසුන් ය
අතහැරුණු පාඩම...
කුලි මවට හිමිදිරියෙම මවු පදවිය පුදලා
සළුපිළි බරණින් සුරලිය අම්මා මැඬ නැඟිලා
මෙහෙයට ගොස් ගෙන එනවිට මැදියම් රැය ගෙවිලා
මවු උණුසුම ගිලිහුණා ද කිරි මුට්ටිය හැලිලා
පිට 42 කටු පොකුරු..
සිතුවම සහ අම්මා
හැමදාම දරුවන් ආදරේ මහ ගොඩක්
අම්මා ය ජීවිතේ පුද බිමත් ඉර හදත්
දරුවනේ අඳිමු අපි අම්මාගෙ සිතුවමක්
එක වසර ගුරුතුමි කීවාය එක දිනක්...
බෝරිච්චි හැට්ටයට ඇන්ද මල් ඔසරියක්
ගේ දෙසට පිය නඟන වතුර කලයක් අරන්
ඉදලකින් රටාවට මිදුල අමදින කෙනෙක්
නොවිණි ඒ අම්මලා අතර අහඹුවෙන්වත්
දරුවනට සැප පිණිස අදට වැඩියෙන් ටිකක්
පොර බදිති අම්මලා දුක් විඳිති නෑ සැකක්
විශ්ව ගම්මානයේ වෙනස අරුමය නමුත්
කළ හැදිද කාටවත් ඈට අභියෝගයක්
65 වැනි පිටුව කටු පොකුරු...
මෙවන් කාව්‍ය නිර්මාණ ගණනාවකින් සමන්විත මේ පොත් දෙක සමගින් පාඨකයා අපූර්ව මනස් ලෝකයකට රැගෙන යන්නට කිවිදියන් දෙදෙනාම සමත්ව ඇත. කවියක් කවියක් පාසා පාඨකයාට සිතන්නට බොහෝ දේ ගෙන හැර පායි.
කවි රසයට ලැදි ඔබට පිදුනු අපූරුම කාව්‍ය සංග්‍රහ දෙකකි මේ පොත් ද්විත්වය. මතු දින කවි අඹරේ ජය ගොස නංවන අපේ කාලයේ කිවිඳියන් දෙදෙනාම ප්‍රකට කර ඇත්තේ දෙදෙනාගේම කවි අනාගතය සුබ බවයි.
Post a Comment