සුදු සේලයක් දිග හැරියා සේ දුම්බර මිටියාවත සිසාරා සුදෝ සුදු වලාවන්ගෙන් හාත්පස ගිරි ශිඛරයන් වෙලී සුන්දර දසුන් මවයි. බැස යන හිරුගේ රන් පැහැ කිරණින් ඒ සළු පිළි නෙක වර්ණ රටා අප දෑස් ඉදිරිපිට මවමින් අපව අමන්දානන්දයට පත් කරවයි.
දැන් අප සිටින්නේ හුන්නස්ගිරිය මී මුරේ මාර්ගයේ ‘අට්ටල වෙට්ටුව’ නොහොත් ‘කෝබර්ට්ස් ගැප්’ නම් ස්ථානයේ යි. ඓතිහාසික පුරා වෘත්තයන් රැසක් සගවාගත් මී මුරේ ලකේගල කඳු පන්තිය මැද්දෙන් ගලා බස්නා ‘හීං ගඟේ’ පතුළේ වසරේ වැඩිම කාලයක් සැඟව පවතින ‘දේවාලකඩුල්ල’ නම් ස්ථානය සොයා යන චාරිකාවේ දී අපි ‘මදක් කෝබට්ස් ගැප්’ හි නැවතුණෙමු. සිසිල් වුණු අපේ සිරුරු උණුසුම් කරගන්නට ද මෙතැන කදිම ස්ථානයකි. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ සුළඟේ වේගයට මුවා වෙමිනි.මහියංගනය හසලක සොරබොරවැව අවට තැනිතලාව සිසාරා හමා එන සුළං ධාරා නකල්ස් කඳු පන්තිය මැදින් ගලාවිත් අනෙක් පසට තල්ලු වි යන්නේ ‘කෝබට්ස් ගැප් නොහොත් අට්ටලවෙට්ටුව’ හරහාය. හුන්නස්ගිරිය සුළං කපොල්ල හරහා හමා යන්නේද මේ සුළං ධාරාවෝය.
හුන්නස්ගිරිය සිට මී මුරේ දක්වා වූ දුර කිලෝ මීටර් 38කට ආසන්නය. එම මාර්ගයේ ගමන් කරන්නෙකුට හමුවන ඉහළම ස්ථානය මෙය වෙයි. හුන්නස්ගිරියේ සිට අට්ටලවෙට්ටුවට ඇති දුර කිලෝමීටර් 15ක් පමණ වෙයි.
වේගයෙන් හමා එන සුළං ධාරා මෙම ස්ථානයෙන් කඳුවැටියේ අනෙක් පසට සේන්දුවන්නේ එතැන සිට දසුන් නරඹන අප කාගේත් සිත් සතන් ප්‍රබෝධයට පත් කරවමිනි.
වසරේ ඇතැම් කාලවල මිනිසෙකුට සිටගන සිටිමටවත් නොහැකි තරමට මෙහි සුළග වේගවත් ය, ප්‍රභලය. එහෙත් ඒ සීතල සුළගත් සමග පැය ගණනක් සිටිය ද? කාලය පිළිබඳ හැගුමක් අප සිත්තුළ ඇති නොවේ. ඒතරමටම මෙහි දසුන් මනරම්ය. මෙතැනින් මතු අප සියලු දෙනාම තාක්ෂණ ලෝකයෙන් මිදෙයි. ත්‍රී ජී නැත, සිග්නල් නැත, කොටින්ම රේඩියෝවක් හෝ වැඩ නොකරයි. නිතර ඇගිලි තුඩු දුවන අත්බනුවලට මෙතැනින් මතු නිවාඩු දෙන්නට අනිවාර්යෙන්ම සිදුවෙයි.
‘අට්ටලවෙට්ටුවේ’ සිට මී මුරය දක්වා ඇත්තේ දැඩි වංගු සහිත පල්ලම් මාර්ගයකි. පාරද අබලන් ය. ගමන අසීරු ය. කැබ් රථයක්, ජීප් රියක් වැනි වාහනයකට නම් අසීරුවකින් තොරව මේ මාර්ගයේ ගමන් කළ හැකිය.
යන්තම් බිම් කරුවල වැටෙන හෝරාවේ අපි මේ අසීරු මාර්ගයේ මී මුරේ ඓතිහාසික මී ගස යටට සේන්දු වුණෙමු. මෙතැනින් එහාට වාහනයක ගමන් කිරීම අපහසුය. ‘යමන්’ කණ්ඩායම සමග මී මුරේ චාරිකා යද්දී කවදත් අපේ පළමු රාත්‍රී නවාතැන වන්නේ මී මුරේ කපුහේන වලව්වයි. මී ගස ළඟ සිට කිලෝමීටර් එක හමාරක විතර දුරක් පයින් ඇවිදිමින් එහි යා යුතුය. ඒ ගමනද ඉතාමත් සුන්දරය. බඩවැටි, නියරවල් මැදින් කඩුළු ගණනාවක් පනිමින් ඇළ දොළ ද පසුකර ගොස් අවසන සීඝ්‍ර බැවුමක් සහිත කන්දක් තරණයකින් පසුව කපුහේන වලව්ව හමුවෙයි.
විදුළි ආලෝකය නැති කපුහේන වලව්ව අප පිළිගන්නට පන්දම් එළියෙන් සැරසී බලා සිටියහ. අප්පු අයියා වෙනදා සේම කේතලය රත් කොට තිබුණේ උණුසුම් තේ කෝප්පයකින් ම අප පිළිගන්නට ය. ගමේ කිතුල් හකුරු කැටයක් එක්ක ඒ තේ පොල්කට්ට සියලු වෙහෙස නිවාලයි.
අප මෙන්ම පැමිණි තවත් සංචාරක කණ්ඩායමක් ද අප යන විටත් කපුහේන මිදුලේ එළිමහනේ සප්පායම් වෙමින් සිටියහ. ඇගපත සිහිල් දියෙන් දොවා ගත් අපිද මිදුළේ තවත් කොනකට එකතු වෙමින් රාත්‍රියේ රසාස්වාදය නොඅඩුව ලැබුවෙමු. සුරා ගේ රස කතා ද කල්පගේ තාල නාද ද? රිද්මගේ ඉල කැඩෙන ඇම්ඩා වර්ගයේ කතා ද අසමින් අලුයම් කාලය දක්වාම අපි රස සයුරේ කිමිදුණෙමු. හෙට දින කටයුතු ද ඇති බැවින් හෝරා දෙකක පමණ කෙටි නින්දකින් පසු උදෑසන ම අවදිවූයේ අවට සිරි නරඹන්නයි. සියොත් හඬ සමගින් උදා හිරු කිරණින් නැහැවී යෝධයෙකු සේ නැගි සිටිනා ලකේගල මේ ගම්මානයට ම නායකයා සේ විරාජමානව වැඩ සීටි. එය නෙතට ප්‍රිය දසුනකි.
දේවාල කඩුල්ල බලා පිටත්වෙන්නට සැලසුම් කොට තිබුණේ එදින අපර භාගයේයි. කිසිදු ආවරණයක් රහිත හිංගඟ දිගේ මද්දහනේ රත් වු ගල් මත ඇවිද යාම අසීරුය.
එනිසාම අපේ කණ්ඩායම තාලි කටට ඔබ්බෙන් පිහිටි ස්වභාවික දිය තඩාගයේ දිය නාමින් ගල් පාඬින්ගේ පහසින් දෙපා සම්බාහනය කරගනිමින් සිත් සේ විනෝද වුණෙමු. ‘ෆිෂ් තෙරපි’ නමින් දැන් බොහෝ තැන්වල සිදු කෙරෙනා ඇතිකරන ලද මාළුන් පිරි ටැංකි හෝ කොටු මත දෙපා හොවා ලබනා පහස මෙහිදී ස්වභාවික දිය දහරේ සිට ලබා ගත හැකිය. ගල් පාඬියා නම් මත්‍යයා මනා පුහුණුව ලද්දකු මෙන් දෙපා සම්බාහනය කරන්නේ අමුතුම වින්දනයක් ගතට ලබා දෙමිනි. පළමු වරට මේ ගල් පාඬින්ගේ පහස ලද පුබ්බා ‘ගෑණු මොකටද බං මාළු මෙහෙම සැප දෙනවනං’ යැයි කියමින් බෙරිහන් දුන්නේ අප කවුරුත් සිනා සයුරේ ගිල්වමිනි.
දහවල් ආහාරය යළිත් කපුහේනේදී ම ලබාගත් අපි හිරු හැරුණු හෝරාවේ දේවාල කඩුල්ල සොයා ඇදුණෙමු. වසරේ වැඩිම කාලයක් මහා සැඩ පහරක්ව ගලායන ජල කඳක් සහිත ව ගලා බස්නා හිං ගග පතුලේ මේම ස්ථානය සැගව පවතී. මේ දිනවල මී මුරයට ඉඩෝර කාලයයි. වෙනදා අඩි 20ක් තම් උස ජල කඳක් සහිතව ගලා ගිය හීං ගඟ දැන් එකම ගල් මල් යායකි. නෙක හැඩ රටා මැවූ දහස් ගණනක බෝල ගල්වලින් පිරි ගිය ශෙලමය පාරක් වැනිය. එහෙත් තැන තැන ස්වභාවික ගල් ඇඳි මත තැනුණු ජල තඩාගයන්ගෙන් නම් අඩුවක් නැත. දිය නාන්නට මේ තැන් කදිමය.
දේවාල කඩුල්ල යනු එකල ගැමියන් දෙවියන් උදෙසා බැති සිතිත් වන්දනා මාන කළ ගලින් නිර්මිත ස්ථානයකි. වසරේ වැඩිම කාලයක් මේ ස්ථානය ජලයෙන් වැසී පවතී. හිඳි ගිය හී ගං පතුලේ ඇවිද යමින් අප සොයා ගියේ මේ ස්ථානයයි. කපුහේනේ සිට රක්ෂිතය මැදින් කිලෝමීටර් තුනක් පමණ පයින් ගමනකින් පසු අපට මේ ස්ථානයට ළගාවන්නට හැකි විය. අපේ අරමුණු වූයේ එදින රාත්‍රිය එහි කඳවුරු ගැසිමයි. ඒ සඳහා අවැසි සියල්ල යමං කණ්ඩායම විසින් සුදානම් කොට තිබිණි. ඇඳිරියත් සමගම ගිනිමැලය මෙන්ම රාත්‍රී කඳවුරකට අවැසි සියලු අංගයන්ගෙන් පෝෂිතව අප එදින රැය එහි සිත්සේ විනෝදයෙන් අවට ලෝකයෙන්ම මිදී ගත කෙරුවෙමු.
අප දෙස බලන්නට කිසිවකු නැත. කිසිවකුගෙන් බාධාවක් ද නැත. අවට ලෝකය සමඟ කිසිම සබඳතාවක් ද නැත. සොබා දහමට අවනතව අපි සියලු රසයන්ගෙන් සන්තර්පණය වූයෙමු. රාත්‍රි ආහාරය මෙන්ම පසුදා උදේ ආහාරයද එහිදීම පිළියල කර ගත් අපි තවත් අපූරු කඳවුරු අද්දැකීමක් එසේ ලබා ගතිමු. අමතක නොකළ එකම කාරණය නම් පසු දින අප එන විට එහි අප සිටියා ය කියන්නට කිසිම සටහනක් නොතබා පැමිණිමයි. පරිසරය විඳින්න. එය නොවනසන්න. අපගේ ඉල්ලීම එයයි. රැගෙන ගිය සැම දෙයකම ඉතිරි ය ආපසු රැගෙන එන්න.
Post a Comment